March 28, 2024

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් මහතා තුන්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

ඒ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින්.

ඊයේ (27) රාත්‍රි 9.18ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ගුවන් යානයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග තවත් 3 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සහ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද ගුවන් තොටුපළට පැමිණි බවයි ඒෂියන් මිරර් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුවයි.

මොහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුලු රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවනු ඇති.

මෙම නිල සංචාරය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ඉන්දීය සංචාරයන්හි පසුවිපරම් චාරිකාවක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

ආචාර්ය එස්. ජායිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිදු කෙරෙන සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් අපේක්ෂා කරන ප්‍රමුඛ කරුණු පිළිබඳව අවධානය යොමුවන බව ද ඉන්දීය විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතයි.

එමෙන්ම ඔහු හෙට (28) බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල හමුවට ද සහභාගි වනු ඇති.

Rate this item
(0 votes)