April 25, 2024

IMF සම්පූර්ණ වාර්තාව එළියට! රටේ ආර්ථික අවුල ගැන කරුණු රැසක් හෙළි වෙයි

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙරට සර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලක් රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බව එහි සඳහන්.

එහිදී අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ඇතුළත් නිර්දේශ රැසක් එම වාර්තාවේ ඇතුළත්.

රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම

කොලඹ වරාය නගරය සම්බන්ධයෙන් විශේෂ පරිච්ඡේදයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත්තේ එය නිසි ආර්ථික සහ මූල්‍ය කලමණාකරණයක් මගින් අනාගතයේදී ලංකාවට ඉහල ප්‍රතිලාභ අත් කර දෙනු ඇති බවයි.

2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, සංචාරක ආදායම් අහිමි වීම සහ රට වසා දැමීම හේතුවෙන් එය වඩාත් තීව්‍ර මට්ටමකට පැමිණ ඇතැයිද වාර්තාවේ සඳහන්.

අද වන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති බව ද පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉලක්කම් දෙකක පසුවන අතර තනි ඉලක්කමක උද්ධමනය රඳවා ගැනීමට රජයට නොහැකි වි ඇතැයිද එහි සදහන්.

සංචිත බරපතල කඩා වැටීමක

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹුණු බවයි වාර්තාව හෙළි කරන්නේ.

විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම, විදේශ විනිමය (FX) හිඟයට හේතු වී ඇති අතර, නිල විනිමය අනුපාතිකය 2021 අප්‍රේල් සිට තත්‍යානුකූලව ස්ථාවර කෙරුණා.

ආනයනික උද්ධමනය පිළිබිඹු කරමින් උද්ධමනය 2021 දෙසැම්බරයේ ඉලක්කම් ද්විත්වයට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ආර්ථික උද්ධමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබෙනවා.

මූල්‍ය හිඟයට හේතු

ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම ද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි එම නිවේදනයේ සාරාංශය වන්නේ.

මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට අදාළ වත්මන් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට ද පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ කොරියානු ජාතික චන්ග්‍යොන්ග් රී (Changyong Rhee) මහතාද දිවයිනට පැමිණියා.

එහිදී එම ජ්‍යේෂ්ඨ නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වී සාකච්ඡා කළා.

බැසිල් - රනිල් මත ගැටුම

එම සංචාරයේ දී යි, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වියවුල්කාරී තත්ත්වය පිළිබඳ අදාළ වාර්තාවක් සැකසීමට තීරණය කර තිබුණා.

ඒ අනුව ජාත්‍යන්තර අරමුදල විසින් අදාළ වාර්තාව අද (26) දිනයේ දී නිකුත් කෙරුණා.

මෙම වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මතභේදාත්මක තත්ත්වයක් පසුගිය සර්වපාක්ෂික සමුළුවේදී මතුවුණා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද අයි.එම්.එෆ්. වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, රටේ පවතින සැබෑ ආර්ථික වියවුල්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ලෙසට ද ඉල්ලීමක් සිදු කළා.

මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වාර්තාව කෙටුම්පතක් පමණක් වන බවත් ශ්‍රී ලංකා රජය එය අභියෝගයට ලක්කර ඇති බවත් එනිසා ලබාදිය නොහැකි බවත්ය.

Rate this item
(3 votes)
Last modified on Saturday, 26 March 2022 10:58