April 25, 2024

පැය 10 විදුලි කප්පාදුව ගැන තීන්දුව එයි

ඉදිරියේදී පැය 10ක් දක්වා වූ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද ප්‍රකාශ කර සිටියා.

“පැය 10ක් දක්වා විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය තෙල් සංචිත අපිට දැන් තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ දකුණු පළාතට පැය ගණන් විදුලිය කැපෙන තත්ත්වයේ අඩුවීමේ ප්‍රවණතාවයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.”

විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා ලබන සතියේ සිට වැඩිවීමේ අවදානමක් ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන ජලාශවල පෝෂක කලාපවලට වර්ෂාව නොලැබීමෙන් එම ජලාශවල ජාල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව බලධාරීන් පවසයි.

එසේම නිසි ආකාරයට ඉන්ධන නොලැබීම හේතුවෙන් ද කෙරවළපිටිය තාප බලාගාරක් ද ක්‍රියා විරහිත කර තිබෙනවා.

දැනට සමහර කලාප සඳහා පැය 6කට අධික කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

මේ අතර පසුගිය අඟහරුවාදා (22) ලංකා විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වන විට ඉතාමත් අවම මට්ටමක පවතින බවයි.

ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ වන විට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.

එමෙන්ම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද  (26) අලුයම වන විට තවදුරටත් පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 120 වන අතර , මේ වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 54 කින් (55%) පහල බැස ඇති බවත්, කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස මට්ටම අඩි 155 වන අතර , මේ වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 49 කින්  (68%) පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩු විමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල, මුස්ලිම් පල්ලිය, කෝවිල යලි මතු වි ඇති අතර, මස්කෙලිය අවට ජනතාව යලි මතු වු ආගමික ස්ථාන නැරඹිමටත්, හින්දු ජනතාව එම හින්දු කොවිලේ පුජාවන් පැවැත්විමට කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2022 16:12