April 18, 2024

සර්ව පාක්ෂික සමුළුව අද - ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයකුත් නැහැ

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වීමට නියමිත බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

සර්ව පාක්ෂික සමුළුව සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එක් නොවන අතර ජාතික ජන බලවේගයද සහභාගි වන්නේ නැහැ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙම සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කළත් ඔවුන් නියෝජනය කරන පක්ෂවල යෝජනා සහ නිර්දේශ, පක්ෂ එකොළහ නියෝජනය කරන නියෝජිතයින් හරහා ඉදිරිපත් කිරීමට නියමිත යි.

මෙම සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ එකොළහේ කණ්ඩායමේ සාමාජිකයින් තුන්දෙනෙකු සහභාගි වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. 

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ පැවති පක්ෂ එකොළහේ කණ්ඩායමේ නායකයින්ගේ සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුවයි.

සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගි වන බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂයද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමට තීරණය කර ඇති බව එහි නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා.

දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට එක්වන බව මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.

එහෙත්, මෙම සමුළුවට එක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර මත ගැටුම් හටගෙන තිබීම හේතුවෙන් ඊට එක්නොවන බවයි ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ප්‍රකාශ කළේ.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික ජනතා සන්ධානය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කර අවසන්.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද සමුළුවට එක්වන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 09:02