April 19, 2024

අලුත් අවුරුද්දේ මාළු කන්නත් බැරි වෙයි - ධීවර හිමියන් අසරණයි

අලුත් අවුරුදු සමයේ මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන ගොඩබිමට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටි බහුදින යාත්‍රා සදහා ඩීසල් නොමැතිකම නිසා මුහුදු යාමට නොහැකි වී ඇති බව ගාල්ල  දිස්ත්‍රික්කයේ බහුදින යාත්‍රාහිමියන් පවසනවා.

ගාල්ල ධීවර වරාය තුල පමණක් ඩීසල් ලබා ගැනීම සදහා බහුදින යාත්‍රා 100කට  වැඩි ප්‍රමාණයක් මේ වනවිට ධීවර වරාය තුල සිරවි ඇති බවද යාත්‍රා හිමියන් පවසනවා.

මෙම තත්වය නිසා මුහුදු රැකියාවේ යාමට නොහැකිව ධීවර කාර්මිකයින් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලා ගැනිම සදහා  මාර්තු මාසයේ දි බහුදින යාත්‍රා මගින්  ධිවර කාර්මිකයින් අති බහුතරයක්  මුහුදු යාමට පුරුදුව සිටිනවා.

මාර්තු මාසය තුල ධිවර රැකියාව සදහා පිටත්ව යන බහුදින යාත්‍රා මත්ස්‍ය  අස්වැන්න නෙලා ගෙන ගොඩ බිමට පැමිණෙන්නේ අප්‍රේල් මාසයේ  මුල්සතියේයි.

ඩීසල් හිගය නිසා බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර වරායන්වල නැංගුරම්ලා ඇති බවද බහුදින යාත්‍රා හිමියන් පෙන්වා දෙනවා.

මෙම තත්වය නිසා අලුත් අවුරුදු සමයේ දි මත්ස්‍ය හිගයක් ඇති විය හැකි බවට බහුදින යාත්‍රාහිමියන් අනතුරු අඟවනවා. 

මෙම තත්වය නිසා මාළුමිලද වැඩි වී තිබෙනවා.

ගාල්ල ධීවර වරායේ කළමණාකරු චතුරංග මුහන්දිරම් මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසුමකදි මෙසේ සඳහන් කළා.

"දැනට ගාල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා 100කට වැඩි ප්‍රමාණයක් මුහුදු යාම සදහා ධිවර වරාය තුල නැංගුරම්ලා තියෙනවා. නමුත් ඩීසල් හිගය තමයි ප්‍රධාන ගැටළුව බවට පත්වෙලා තියෙන්නේ. අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන තමයි ධීවර බහුදින යාත්‍රා වැඩි වශයෙන් මුහුදු රැකියාවේ යන්නේ. ඒ නිසා මෙම කාලය තුල වෙනදාට වඩා බහුදින යාත්‍රා මුහුදු රැකියාවේ යනවා. ගාල්ල ධීවර වරායට ඉකුත් දෙදින තුල ඩීසල් ලැබුණේ නැහැ. අද (22) ඩීසල් ගැටළුවක් නොමැතිව ලබා දෙන බව කියනවා. ගාල්ල ධිවර වරායට මේ දිනවල දිනකට ඩීසල් ලිටර් 6400 තොග 08ක් විතර අවශ්‍ය වෙනවා. නමුත් අපිට ලැබෙන්නේ ඩීසල් ලිටර් 6400 තොග 03ක් පමණයි. එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ."

Rate this item
(0 votes)