March 29, 2024

ගෑස් ප්‍රහාරය ගැන කනක උත්තර දෙයි

අලෙවි නියෝජිතයා ගෑස් හංගා ගෙන සිටින බවට චෝදනා කරමින් ගෑස් පාරිභෝගිකයින් පිරිසක් අද කොළඹ නුවර ප්‍රධාන මාර්ගය රන්වල ප්‍රදේශයෙන් අවහිර කළා.

තත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල පොලිසියට මැදිහත් වීමට ද සිදු වුණා.

මේ විරෝධතාවය අතරතුර රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා,

"කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් සිලින්ඩර් අලෙවි සැලක් ඉදිරිපිට අද පෙරවරුවේ ගෑස් සිලින්ඩර් නෑ කියලා පිරිසක් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හා කොළඹ මහනුවර විකල්ප මාර්ගය හිස් ගෑස් සිලින්ඩර් වලින් අහුරා සම්පූර්ණයෙන්ම මාර්ග දෙකම වසා උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා.

මේ ප්‍රධාන මාර්ග දෙකම වසා තිබෙන අවස්ථාවේ දී මම එතනින් යන්න යන කොට පිරිසක් මම ගමන් කරමින් සිටි වාහනයට ගෑස් සිලින්ඩරයකින් පහර දීලා කියලා අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතිනවා. ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මම එහෙම ගමන් කරන කොට ගෑස් සිලින්ඩරයකින් පහර දුන්නා නම් වාහනයට අලාභ හානි සිදු වෙලා තියෙන්න ඕනෑ. එහෙම නැති නම් අඩුම ගානේ එක් රැස් වී සිටි පිරිස ළග වීඩියෝ එකක්වත් තියෙන්න ඕනෑ. ඒ කිසිම දෙයක් නැතිව මගේ ජායාරූප යොදාගෙන අන්තර්ජාලයේ පල කර ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මම නීතිමය පියවර දැනටමත් අරගෙනයි තියෙන්නේ."

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 March 2022 21:38