හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට ගෑස් අලෙවි නියෝජිත ස්ථානයේ ගෑස් ලබා ගැනීම සඳහා අද (16) අලුයම සිට රැඳී සිටි ජනතාවට වෙළෙඳසල් හිමිකරුවන් ගෑස් නොමැති බව පැවසීමත් සමඟ කුපිත වූ ජනතාව ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා හයිලෙවල් මාර්ගය සම්පූර්ණයෙන්ම හරස්කොට විරෝධතාවයක නිරත වු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
ඒ හේතුවෙන් කොළඹ දෙසට සහ අවිස්සාවේල්ල දෙසට කිලෝමීටර් දෙකක් පමණ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා.
ඊට උරණ වූ රියදුරන් විරෝධතාකරුවන් සමග බහින්බස් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
මේ සඳහා පන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමඟ ද විරෝධතාකරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර, එහිදී හෝමාගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා පැමිණ ගෑස් ලබා දීමට බලධාරීන් සමග සාකච්ඡා කරන බවට පොරොන්දු වීමත් සමග මාර්ගය හරස් කොට තබා තිබූ ගෑස් සිලින්ඩරය ඉන් ඉවත් කොට විරෝධතාවය නිමා කළා.
පැයක පමණ කාලයක් මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.