March 29, 2024

ගෝඨා කැඳවූ වාර්තාවෙන් බැසිල් ගැන හෙළිවුණා! මෙතෙක් හෙළි නොකල කතාව විමල් හෙළි කරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙතෙක් හෙළි නොකල කතාවක් හෙළිදරව් කළා.

ඒ ඊයේ (10) රූපවාහිනී වැඩසටහනක පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි.

එහිදී වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙලෙස හෙළි කරන කාරණය හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් එසේ සිදු නොවූ බවට ප්‍රකාශ කළ හැකි බවයි.

එලෙස ප්‍රකාශ කළද තමා ඒ පිළිබඳ විවාදයට නොයන බවත් එහිදී කියා සිටියා.

පසුගිය ජනාධිපතිවරණය පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වූයේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා ඒ වන විටත් ඇඳුම් සූදානම් කරගනිමින් ඡායාරූප ශිල්පීන් ගෙන්වා ඡායාරූප පවා ගෙන තිබූ බවත් වීරවංශ මහතා හෙළි කළා.

ඒ සිහිනය කුඩු පට්ටම් කළේ තමා ඇතුළු පිරිස බවත් ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට මතය ගෙන ආවේ ඉන් අනතුරුව බවත් ඔහු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන අභියෝගය තිබුණේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම බවත් එහිදී පිළිබඳ සොයා බැලීමට ඉන්දීය සම්භවයක් තිබෙන නීතිඥයෙකු යොදා ගත් බවත් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඇමරිකානු ක්‍රමවේදය හොඳට අධ්‍යනය කර අදාල නීතිඥවරයා පසුව සඳහන් කර තිබුණේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බාධාවක් නොමැති බවත් නමුත් අනෙක් රාජපක්ෂ වරයාට බාධාවක් පවතින බවත් පෙන්වා දී තිබූ බව ඔහු පැවසුවා.

ඒ රාජපක්ෂ වරයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ඊට හේතු වී ඇත්තේ මනිලොන්ඩරින් ප්‍රශ්නයක් බව සඳහන් කර තිබූ බවත් එය තමාට කියා සිටියේ සමීප කෙනෙකු බවත් වීරවංශ මහතා අවධාරණය කළා.

Rate this item
(7 votes)
Last modified on Friday, 11 March 2022 02:56