April 17, 2024

වාසු අස් නොකළ හේතුව රාජ්‍ය ඇමැති කියයි Featured

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන තුන් කට්ටුවේන් වාසුදේව නානායක්කාර මහතාගේ පමණක් ඇමති ධූරය ජනපතිවරයා ඉවත් කළේ නැහැ.

එය ප්‍රහේලිකාවක් වූයේ වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන්ගේ ඇමැති ධුර ඉවත් කිරීමට බලපෑ "මුළු රටම එක මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ රැස්වීම අමතා නානායක්කාර මහතාද කතා කළ නිසා.

ආණ්ඩුවේ ස්ථාවරය

නානායක්කාර මහතාගේ ඇමතිධුර ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශවයෙන් සිය ස්ථාවරය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින්.

ඔහු සඳහන් කරන්නේ "මුළු රටම එක මගට" ප්‍රකාශනය ජනගත කිරීමේ රැස්වීමේදී නානායක්කාර ඇමතිවරයා ආණ්ඩුව ඉලක්ක කොට හෝ පුද්ගලයන් ඉලක්ක කොට විවේචනයන් නොකළ බවයි.

ඒ කතා වලට ඇහුම් කන් දුන්නා නම් ඒ බව තේරුම් ගැනීමට හැකි බවයි විජේසේකර මහතා අවධාරණය කරන්නේ.

ජනතාව හා ආණ්ඩුව

යම් කෙනෙකුට පුද්ගලයකු සමඟ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඊට රටේ සමස්ත ජනයා මෙන්ම ආණ්ඩුව සිරකරුවන් බවට හෝ පීඩනයට ලක් නොකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය කාලයේ ජනපතිවරයා කළ ඇතැම් පත්වීම් පිළිබඳව තමන්ට වුවද කතා කිරීමට හැකි මුත් ඒවා අභියෝගයට ලක් කළ නොහැකි බවයි.

මුදල් ඇමතිවරයා පත් කිරිමේ බලය තිබෙන්නේ ජනපතිවරයාට බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා පුද්ගලයන් සමඟ තිබෙන ගැටලු රටේ ගැටළුවට පරිවර්තනය කරගන්නා ආකාරයක් දුටු බව විජේසේකර මහතා පෙන්වා දෙනවා.

වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යවරුන් ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් වහාම ඉවත් කළේ "මුළු රටම එක මගට" ප්‍රකාශනය ජනගත කිරීමේ රැස්වීමේදී ඔවුන් දෙපළ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉලක්කකොට බරපතළ විවේචනයන් එල්ල කිරීම යන චෝදනාව පදනම් කොටගෙනයි.

මුදල් ඇමැති විවේචනය

එහෙත් එම රැස්වීමේදී ගම්මන්පිල මහතා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පුද්ගලිකව විවේචනය කිරීමක් දක්නට ලැබුනේ නැහැ.

ඔහු සිය කතාවේ දී පෙන්වා දුන්නේ තමන් ඩොලර් හිඟය සම්බන්ධයෙන් දිගින් දිගටම කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා දැක්වූ ප්‍රතිචාරය ගැන පමණයි.

එහෙත් විමල් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු දක්නට ලැබුණා.

ඒ අනුව බලද්දී ගම්මන්පිල මහතාව ඇමති ධූරයෙන් ඉවත් කිරීමට හේතුව රැස්වීමේදී කළ කථාව පමණක්ද යන්න ගැටලුවක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 05 March 2022 23:15