April 24, 2024

ගම්මන්පිල කරපු වැඩේ කරන්න ඇමති කෙනෙක් අවශ්‍ය නැහැ: නව බලශක්ති ඇමති

නව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතා එම ඇමැති ධුරය භාර ගැනීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා "තව දින තුනකට පමණයි තෙල් තියෙන්නේ" කියපු ආකාරයෙන් වැඩ කිරීමට ඇමතිවරයෙක් අවශ්‍ය නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

තෙල් හැමදාම දීම

තමා අමාත්‍යාංශයට යන්නේ "තෙල් හැමදාම දෙනවා" කියන මතයේ සිට බව ඇමැතිවරයා අවධාරණය කරනවා.

එය රජය සමග එකතු වී කළ යුතු බව පෙන්වා දෙන නව අමාත්‍යවරයා තෙල් තිබෙන්නේ තව දෙක තුනකට පමණක් යයි ප්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම තෙල් හිඟයක් ඇති වන බවයි සඳහන් කරන්නේ.

ගම්මන්පිල ඇමතිවරයා මෙන් තෙල් දීමට නොහැකි බව ප්‍රකාශ කිරීම සඳහා තමා මෙම ඇමති ධූරය භාර නොගන්නා බවත් ලොකුගේ මහතා සඳහන් කරනවා.

විදුලි බලය

විදුලිබලය උත්පාදනය කිරීම සඳහාත් දිගටම විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දී යුතු බව සඳහන් කරන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් මුදල් ප්‍රශ්නයක් තිබේ නම් රජයට හා මහා භාණ්ඩාගාරයට කතා කර එය විසඳා ගන්නා බවත් පෙන්වා දෙනවා.

මෙවැනි ප්‍රශ්න නිසා රටේ ජනතාවට දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවත් හෙට (05) සිට රටේ විදුලිය කැපීමකින් තොරව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඒ සඳහා නව විදුලි බල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් අනාවරණය කරමින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 16:07