April 20, 2024

“එක රටක් - එක නීතියක්” බලකායට සරසවි ප්‍රජාවත් අදහස් දෙයි

February 20, 2022

ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවසනවා.

“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වූ අතර එහිදී ඔවුන් මේ බව කියා සිටියා.

කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට, වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විද්‍යාර්ථයෝ මීට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ  සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාර්ය සාධන බලාකය ස්ථාපනය කරනු ලැබුවා.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් සහ යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් වූ අතර කාර්ය සාධක බලකායේ අදහස් විමසීමේ රැස්වීම් මාලාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි බව එහි සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්‍ ප්‍රකාශ කළා.

සරු පසට - සරු පොළවට සභ්‍යත්වයට - ශිෂ්ටාචාරයට, සංස්කෘතියට ගරු කළ නිදහස් රටක් එදා අපට උරුම වී තිබූ බවත් අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් ඒ රට, සියලුදෙනා එක්ව නැවත ඉල්ලා සිටිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළා.

මහපොළවේ ඇති ගැටලු ඇති සැටියෙන් හඳුනාගෙන විසඳුම් දීමේ නව ප්‍රවේශයක් ලෙස කාර්ය සාධක බලකාය ඉදිරියට යන බවත්, හොඳ අරමුණු පොත්වල ලියා තැබීමෙන් පමණක් ඵලක් නොවන අතර ඒවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපකිරීම් කළ යුතු බවත් සඳහන් කළ උන්වහන්සේ ත්‍රස්තවාදය පරාජය කළත් බෙදුම්වාදය පිළිබඳ අදහස පරාජය කිරීමේ වගකීම තවමත් අප අතර තිබෙන බව ද කියා සිටියා. 

ඒ සඳහා උගතුන් සහ බුද්ධිමතුන් සමග උඩුගම්බලා පිහිනීමට තම කණ්ඩායම සූදානම් බව ද උන්වහන්සේ අවධාරණය කළා.

විදේශීය නීති අතරට ස්වදේශීක බවක් එක් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත යුතු බවත් එක් ජන කොටසකට, සීමිත පිරිසකට අසාධාරණයක් සිදුවන විෂමතා නීතියේ තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය කියා සිටියා‍.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මැජික් ලියවිල්ලක් නොවන බවත් මූලික නීති සංකල්ප එහි අන්තර්ගත බවත් ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව එකම නීතියක ආධිපත්‍යයක් සහිත රටක් ගොඩනැගීම අවශ්‍ය බවයි මහාචාර්යවරිය පැවසුවේ.

විවිධ ජනවර්ග, සංස්කෘතින් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් සේම වටිනාකමක් බවත් කිසිදු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානතාවක් වෙනුවෙන් සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව ද මහාචාර්යවරිය අවධාරණය කළ අතර එක රටක් - එක නීතියක් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපරිම සහාය ලබා දෙන බව ද පැවසුවා.

කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දැක්වීමට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ ද විශාල උනන්දුවක් දක්නට ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

යාවත්කාලීන වන ලෝකය හමුවේ නීතිය ද යාවත්කාලීන විය යුතු බව පෙන්වා දුන් ඔවුහු ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මෙම බලකාය මගින්  යෝජනා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කියා සිටියා.

“එක රටක් - එක නීතියක්” සඳහා  යන ගමනේ දී නීති පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් සිසුන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියා.

එක රටක්- එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක  බලකාය ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආවරණය කරමින් අදහස් හා යෝජනා ලබාගනිමින් සිටියි.

තවද කාර්ය සාධක බලකාය අමතා වේලාව වෙන් කර ගත් විවිධ සංවිධාන හා ඒවායේ නියෝජිතයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාලයට පැමිණ අදහස් දැක්වුවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 February 2022 09:11