April 20, 2024

යළි ඉන්ධන අර්බුදයක්! ඉන්ධන ගන්න දිගු පෝලිම්

February 17, 2022

විදුලි අර්බුධයට අමතරව මේ දිනවල රට තුල ඉන්ධන හිඟයක්ද මතුව ඇති ආකාරය මේ දිනවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැක ගත හැකියි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන අවසන් වී ඇති බවයි.

පසුගියදා මිල ඉහල දැමු ලංකා IOC ඉන්ධන පිරවුම්හල් කිහිපයකද දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින් වර හිඟ වීමෙන් මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දින වලදී එල්ල වුනේ දැඩි බලපෑමක්.

ඒ අනුව අවශ්‍යතාව පරිදි ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලි කප්පාදු කිරීමට අවසර දෙන්නයි ලංකා විදුලිබල මණ්ඩලය මිට පෙර මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුනත් ඊට අවසර හිමි වුයේ නැහැ.

ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා IOC සමාගමෙන් සෘජුවම ලබා ගැනීමටයි.

කෙසේවෙතත් එම තීරණයට ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති වලින් එල්ල වෙමින් පවතින්නේ දැඩි විරෝධයක්.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ආනයනය කිරීමට බලයක් නොමැති බව ඛනිජ තෙල්, වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසනවා.

අද මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ, ඊට තම සංගමය ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල විරෝධය පළ කරන බවයි.

මේ අතර, ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අවසර ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඊට විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ නව සභාපති අනිල් රංජිත් මහතා ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ ඉන්ධන අවසන් වුවහොත් සහ ජල විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වුවහොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, උමාඔය ව්‍යාපාරය ආරම්භ වූයේ නම් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 February 2022 14:42