ඓතිහාසික මහ කතරගම රුහුණු දේවාලයේ අතුරුදහන් වූ පවුම් 38ක රන් තැටිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වනවා.
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ මීට මාස 4 කට පමණ පෙර.
කට උත්තර ගැනීම
ඉන් අනතුරුව 2019 වර්ෂයේදී එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කළ බව කියන කාන්තාවකගෙන්ද මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඒ හැරුණු කොට මේ සම්බන්ධයෙන් බස්නායක නිලමේ , ප්‍රධාන කපු මහතා ඇතුළු 16 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශද ලබා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් මස 26දා එක්තරා පුද්ගලයකු විසින් අතුරුදහන් වූ රන් තැටියට සමාන රන් තැටියක් මහා දේවාලයේ බස්නායක නිලමේ වෙත භාර දුන්නා.
මතු වූ රන්තැටිය
තමාට එම රන් තැටිය බාර දුන්නේ ප්‍රධාන කපු මහතාගේ නිවසේදී බවත් එය දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දෙන ලෙස තමන්ට පැවසූ බවයි එම පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.
එසේ භාරදුන් රන්තැටිය අතුරුදහන් වූ රන් තැටිය මද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
නැවත භාර දුන් රන්තැටිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පරීක්ෂාකොට නැවත ලේඛනගත කර එය නැවත ගබඩා කාමරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ යම් බලපෑමක් මත යට ගැසෙන බවටයි රුහුණු මහා කතරගම දේවාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.