March 29, 2024

ආණ්ඩු රැස්වීම ඇවිලෙයි! ගෝඨාගෙන් තරවටු! ප්‍රබල ඇමති අස්වෙතැයි ඉඟි!

February 08, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) අරලිය ගහ මන්දිරයේ දී ආණ්ඩු පක්ෂ රැස්වීමක් පැවැත්වුණා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

එමෙන්ම පසුගිය දා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පහ කරනු ලැබූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද මෙම රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක්.

මෙම රැස්වීමේ දී විදුලිබල අර්බුදය, ඩොලර් හිඟය ඇතුළු රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති බව යි වාර්තා වන්නේ.

ගම්මන්පිලට ප්‍රහාරයක්

මේ අතර ඊයේ පැවැති මෙම රැස්වීම අතරතුර ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාව දැඩි විවේචනයකට ලක් කොට ඇති බව වාර්තා වෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය දිනක සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් පසුපෙළ මන්ත්‍රීවරු එලෙස කටයුතු කර ඇති බව යි පැවසෙන්නේ.

මාධ්‍ය හමුවක් අතරතුර පසුගිය දා ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ විනිමය අර්බුදයට හේතුව අසීමිත ලෙස ණයවර ඉහළ යාම මිස කොවිඩ් වසංගත තත්ත්වය නොවන බවට යි.

ගම්මන්පිල අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රී  ජයන්ත කැටගොඩ මහතා අදහස් පළ කොට තිබෙනවා.

පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහි දී කැටගොඩ මන්ත්‍රීවරයා සහ ගම්මන්පිල අමාත්‍යවරයා අතර උණුසුම් මත ගැටුමක් හටගත් බව යි. 

පසුව තවත් පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ගම්මන්පිල මහතාට එරෙහිව වාග් ප්‍රහාරයක් එල්ල කළ  බව සඳහන්. 

එහි දී රෝහිත අබේගුණවර්ධන, ජගත් කුමාර, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු තවත් කිහිපදෙනෙකු ද ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වූවා

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ  විදුලි අර්බුදය පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ යන දෙදෙනා පළ කරන්නේ පරස්පර අදහස් බව යි.

ජනපතිගේ තරවටුව

මෙම අවස්ථාවේ දී ජනාධිපතිවරයා ද අදහස් දක්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කොට ඇත්තේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ නම් ඊට පෙර එම කරුණ පිළිබඳව පුළුල්ව අධ්‍යනය කළ යුතු බව යි.

එලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව අදාළ අදහස් දැක්වීම සිදු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

විදුලිබල අර්බුදය ක්ෂණිකව හටගත් ගැටළුවක් නොවන බවට ද පවසා ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නිසි කලට බලාගාර ඉදි නොවීම මත මෙම අර්බුදය හටගෙන ඇති බවට යි.

විහිළු සපයන්න එපා

මේ අතර මෙම රැස්වීමෙන් පසු පිටව යමින් සිටිය දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද ගම්මන්පිල සහ ලොකුගේ අමාත්‍යවරු ප්‍රකාශ කරන පරස්පර අදහස් සම්බන්ධව පැහැදිළි කළා.

ඇතැම් අමාත්‍යවරු තමන් ආණ්ඩුවේ නොවන ආකාරයෙන් අදහස් පළ කරන බව යි ඔහු පෙන්වා දුන්නේ.

එකම කණ්ඩායමක් නම් මෙලෙස වෙනස් ආකාරයෙන් කටයුතු කරන්නේ ඇයි ද යන ප්‍රශ්ණය තමන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කළ බව යි ජගත් කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කැබිනට් අමාත්‍යවරු ලෙස සාමූහික වගකීම පිළිබඳ තේරුම්ගත යුතු බවත්, රටේ ජනතාවට විහිළු සැපයීම නොකරන ලෙසටත් එහි දී පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රකාශ කළ බව කුමාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ගම්මන්පිල අස්වෙයි ද?

මේ අතර උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම්වන බවට මාධ්‍ය වාර්තා පළ වෙමින් පවතිනවා.

ඒ ඊයේ (07) ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ඔහු දැඩි විවේචනයට ලක් වූ පසුබිමක යි.

අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරන්නේ අද (08) දිනයේ දී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව යි.

ඊට අදාළ ලිපිය මේ වනවිටත් මහලේකම්වරයා වෙත ගම්මන්පිල මහතා විසින් යොමු කර ඇති බව ද අදාළ පුවත් වාර්තා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 07:42