April 25, 2024

IOC පාඩුවත් සංස්ථාවට! තෙල් මිලට වෙන දේ මෙන්න! Featured

February 08, 2022

IOC වැඩි මිලේ පාඩුවත් සංස්ථාවට

ඉන්ධන මිල වැඩි කිරීම හරහා ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) සිදු කර ඇත්තේ ඔවුන් වෙත පැමිණෙන පාරිභෝගිකයින් ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත යොමු කිරීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

පෙට්‍රල් ලීටරයකින් රුපියල් 6ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් බැගින් තම සමාගම පාඩු ලබන බවට IOC සමාගම ප්‍රකාශ කරන පසුබිමක එම පාඩුව ද තෙල් සංස්ථාවට දැරීමට සිදුව ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

මීට පෙර IOC සමාගම, තෙල් සංස්ථාවේ මිලටම ඉන්ධන අළෙවි කිරීම සිදු කළේ වැඩි මිලට ඉන්ධන අළෙවි කළ හොත් ඔවුන්ගේ පිරවුම්හල් වෙත කිසිදු පාරිභෝගිකයෙකු නොපැමිණෙන නිසා බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේ තෙල් සංස්ථාවේ මිලට ඉන්ධන අළෙවි කිරීම මගින් සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා IOC සමාගම මෙලෙස සිය පාරිභෝගිකයින් තෙල් සංස්ථාවේ පිරවුම්හල් වෙත යොමු කර ඇති බව යි.

එම නිසා එම පාඩුව ද තෙල් සංස්ථාවට දැරීමට සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

තෙල් මිල වැඩි කිරීම අනිවාර්යයිලු

මේ අතර IOC සමාගමෙහි ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ඛනිජ තෙල් සංස්ථාවෙහි මිල ගණන් ද අනිවාර්යයෙන් වැඩි කරනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ලංකා IOC සමාගම තෙල් සංස්ථාවට වඩා අඩු මිල ගණන් යටතේ ඉන්ධන මිලට ගන්නා බව යි.

එමෙන්ම එම සමාගම ණයට තෙල් මිලට නොගන්නා බවත්, තරගකාරීවයෙන් යුතු විනිවිදභාවයක් සහිත ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන් තෙල් මිලට ගන්නා බවත් පාලිත මහතා සඳහන් කරනවා.

තෙල් සංස්ථාව දරන පරිපාලන වියදම්වලට ද වඩා IOC සමාගමට වැය වෙන වියදම අඩු බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එවන් පසුබිමක ඔවුන් මිල වැඩි කිරීම හරහා, මෙරට ඉන්ධන මිල තීරණය කිරීමේ ප්‍රධාන ආයතනය බවට ලංකා IOC සමාගම පත්ව ඇතැයි සනාථවන බව ඔහු පෙන්වා දෙනවා.

ඇමතිගෙ මතය

මේ අතර IOC සමාගමෙහි මිල වැඩි කිරීමෙන් පසු ඛනිජ තෙල් සංස්ථාවෙහි ඉන්ධන මිල ද ඉහළ යාවි දැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කොට සිටියා.

එහි දී ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යි.

කෙසේ වෙතත් ඩොලරයේ මිල ඉහළ යාම සහ ලෝක වෙළඳපොලෙහි තෙල් මිල ඉහළ යාම වැනි කාරණා හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව අතිශය දුෂ්කර ස්ථානයක පසුවන බව ඔහු සඳහන් කළා.

වසර 08ක කාලයක් ගෙන බැලූ විට ලෝක වෙළඳපොලෙහි වැඩිම ඉන්ධන මිල මේවන විට පවතින බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම මීට පෙර තෙල් මිල වර්තමාන මිලට වඩා ඉහළ ගිය අවස්ථා ඇතත්, එම අවස්ථාවන්හි දී ඩොලරයෙහි අගය මීට වඩා බොහෝ අඩු තැනක පැවැති බව ද ගම්මන්පිල මහතා සඳහන් කළා.

නමුත් මෙම පාඩුව ජනතාවට ලබා නොදීමට උත්සහ දරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 09:41