March 29, 2024

ඛනිජ කැණීම් හිතුමතේට! ලක්ෂ 7කට වැඩි මැණුම් උපකරණ පැත්තකට විසි කරලා

February 08, 2022

ලක්ෂ ගණනක් වැය කර රජයෙන් මිලදී ගත් උපකරණ තොගයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වනවා.

ඒ අනුව හෙළි වී ඇත්තේ ඛණිජ නිධියකින් කැණීම් කළ හැකි ප්‍රමාණය ගණනය කිරීම සදහා පතල් හා කැණීම් කාර්යංශය විසින් 2016 වර්ෂයේ මිලදී ගෙන ඇති විද්‍යුත් දුර මැණුම් උපකරණයෙන් ප්‍රාදේශීය වශයෙන් කිසිදු සේවාවක් ලබා ගෙන නොමැති බවයි. 

විද්‍යුත් දුර මැණීමේ උපකරණය මිලදී ගැනීම සදහා පතල් හා කැණීම් කාර්යාංශය රුපියල් 7,95,000 ක මුදලක් වැය කර ඇති බවද එම වාර්තාවේ සදහන්.

ඛණිජ ද්‍රව්‍ය ලබා ගැනීම සදහා කැණීම් කිරීමට පෙර එම ස්ථානය සිතියම් ගත කිරීම සිදු කළ යුතු අතර අනතුරුව අදාල ස්ථානයෙන් කොපමණ ප්‍රමාණයක් ඛණිජ ද්‍රව්‍ය ලබා ගත හැකිද යන්න නිශ්චය කර ගත යුතුයි.

පතල් හා කැණීම් කාර්යංශය විසින් මිලදී ගෙන ඇති විද්‍යුත් දුර මැණීමේ උපකරණය භාවිතා කරණු ලබන්නේ ඒ සදහාය.

නමුත් විද්‍යුත් මැණුම් උපකරණය භාවිතා කර අදාල හදුනා ගැනීම් නොකොට ඛණිජ ද්‍රව්‍ය කැණීම සදහා අවසර ලබා දීම තුළින් විශාල ලෙස දුෂණයන් සහ අවභාවිතාවන් සිදුවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඛණිජ ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කළ හැක්කේ පොලොව මට්ටම දක්වා පමණක් බවට වන කොන්දේසියක් නිකුත් කරණු ලබන බලපත්‍රයේ සදහන් වන නමුත් විද්‍යුත් දුර මැණීමේ උපකරණය භාවිතා නොකිරීම හේතුවෙන් පොලොව මට්ටමින් පහළට කැණීම් කර ඇති බවද විගණන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් අනවසර කැණීම් බොහෝමයක් සිදුවී ඇති බවද කැණීම් කර බැහැර කරන ලද ඛණිජ ද්‍රව්‍ය වල ප්‍රමාණයන් ගණනය කළ නොහැකි බවද නිකුත් කර ඇති විගණන වාර්තවේ සදහන්.

මෙම තත්ත්වය හේතුවෙන් රජයට අයවිය යුතු රාජ්‍ය භාගය නොලැබී ගොස් ඇතැයිද එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම උපකරණය ප්‍රායෝජනයට ගනිමින් අදාල නිශ්චයන් සිදු කර තිබුණේ නම්, ඛණිජ ද්‍රව්‍ය ඉවත් කරන ස්ථාන යලි පුනරුත්තාපනය කිරීමට මෙන්ම සිදු වෙමින් පවතින පාරිසරික හානි අවම කිරීමට හැකියාව තිබූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

නිසි නිශ්චයක් සිදු කර නොතිබීම හේතුවෙන් ඛණිජ ද්‍රව්‍ය ලබා ගෙන ඇති ස්ථාන රැසක් මේ වන විට අතහැර දමා තිබෙන බවක් දක්නට ඇතැයිද විගණන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක තුළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2021 වර්ෂය තුළ සිදු කර ඇති විමර්ශණයකින් අනතුරුව අදාල වාර්තාව නිකුත් කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 11:16