April 25, 2024

"ජනතාවගෙන් වැඩි පිරිසක් මියයාවි" - වෛද්‍ය අනාවැකි මැද රෝහල් තුනක් පිරී ඉතිරී යයි Featured

මෙරට තුළ කොවිඩි 19 ආසාදිතයින් ගණන සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඒෂියන් මිරර් අප මීට පෙර ඔබ වෙත වාර්තා කළා.

මෙම තත්ත්වය හමුවේ දිවයින තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන රෝහල්වල ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව යි මේවන විට වාර්තා වන්නේ.

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගන්නා ප්‍රධානතම රෝහල් දෙකක්වන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහල සහ හෝමාගම මූලික රෝහල මෙන්ම කොළඹ ජාතික රෝහල ද මෙම තත්ත්වයට ඇතුළත් වී ඇති බව සඳහන්.

IDH රෝහල

IDH රෝහල මේවන විට කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් පිරී යමින් පවතින බව යි එම රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසන්නේ.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත්වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව යි.

පසුගිය සතිය හා සසඳා බලන විට මේ සතියේ රෝහල වෙත පැමිණෙන ආසාදිතයින් ගණන 50%කින් පමණ වැඩි වී ඇති බව ද ඔහු අනාවරණය කළා.

එමෙන්ම සිය රෝහලෙහි බාහිර රෝගී අංශය හරහා PCR පරීක්ෂණ සඳහා අණුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන ජෛව සාම්පලවලින් 50% - 60% අතර ප්‍රමාණයක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙමින් පවතින බව ද IDH අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

එමෙන්ම වෛද්‍ය හසිත අත්තනායක වැඩිදුරටත් අවධාරණය කළේ මෙම කාරණා පෙළගස්වා බලන විට ඉදිරි සති දෙක තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව යි.

හෝමාගම රෝහල

කොවිඩ් 19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව වෙළා ගැනීමත් සමග හෝමාගම මූලික රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කිරීමට රජය පියවර ගත්තා.

එවන් පසුබිමක මේවන විට එම රෝහලෙහි කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කොට ඇති වාට්ටු සියල්ල පිරී ගොස් අවසන් බව යි එම රෝහලෙහි අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

එම වාට්ටුවල ඇඳන් ධාරිතාවට වඩා වැඩි ආසාදිතයින් ගණනක් මේවන විට එම කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර ලබන බව ද ඔහු අනාවරණය කළා.

කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් 75ක් හෝමාගම රෝහලෙහි පිහිටා ඇතත් රෝගීන් 81 දෙනෙකු මේවන විටත් ප්‍රතිකාර ලබන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

වඩාත් භයානක කරුණ වන්නේ හෝමාගම රෝහලෙහි කාර්ය මණ්ඩලය ද ආසාදිත වෙමින් පැවතීම යි.

මේවන විට කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුණාගෙන ඇති බව අප වෙත වාර්තා වුණා.

එම විසිතුන්දෙනා අතර වෛද්‍යවරු තිදෙනෙකු ද සිටින බව සඳහන්.

එමෙන්ම හෙදියන් එකොළොස් දෙනෙකු ද මේවන විට කොවිඩ් ආසාදිත වී තිබෙනවා.

ආසාදිතයින් බවට හඳුණාගෙන ඇති අනෙක් නව දෙනා රෝහල් කනිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින්.

ජාතික රෝහල

මෙවන් පසුබිමක, දිවයිනේ තත්ත්වය භයානක බවට ඔප්පුවන තවත් කරුණක් වන්නේ කොළඹ ජාතික රෝහලෙහි වාතාවරණය ඉහත රෝහල්වලට දෙවැනි නොවීම යි.

ජාතික රෝහළට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, ඔක්සිජන් යන්ත්‍ර මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ ගණන ද වර්ධනය වී ඇති බවත්  එම රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කර සිටියා.

මෙවන් තත්ත්වයක් මත සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කොට ඇති සම්පත් ප්‍රමාණය කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බව ද, තව දුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ ගිය හොත් සාමාන්‍ය රෝගීන්ට දෙනු ලබන ප්‍රමුඛතාව ද ලබා දිය නොහැකිවනු ඇති බව ද ඔහු පැවසුවා.

ඒ හරහා වෙනත් ලෙඩ රෝග ඇති රෝගීන් විශාල ප්‍රමාණයක් අවදානමකට ලක්වනු ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කොවිඩ් රෝගීන්ගේ වැඩි වීම හමුවේ සාමාන්‍ය සැත්කම්වලට දෙනු ලබන ප්‍රමුඛතාව ද අඩු කිරීමට ද මේවන විට ජාතික රෝහලට කටයුතු කිරීමට සිදු වී ඇති බව වාර්තා වූවා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ද කාර්යය මණ්ඩලය අතර කොවිඩ් වෛරසය පැතිර යමින් පවතින බව වාර්තාවන අතර එම පිරිස අතර ගැබිණි හෙදියන් තිදෙනෙකු ද වන බව සඳහන්.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එන්. එස්. බී. මැදිවත්ත මහතා අනාවරණය කළේ සතියක කාලය තුළ ජාතික රෝහල තුළ පමණක් හෙදියන් 62ක් කොවිඩ් ආසාදිත වී ඇති බව යි.

එමෙන්ම ජනවාරි මාසයේ 03 වැනිදාවන විට ජාතික රෝහලේ එක් කොවිඩ් වාට්ටුවක් පමණක් තිබූ නමුත් මේවන විට කොවිඩ් වාට්ටු 07ක් දක්වා වර්ධනය වී ඇති බව යි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ.

හදිසි වැඩිවීම

පසුගිය ජනවාරි මස 19 වැනි දා සිට 25 වැනි දා දක්වා සතියක කාලයක් තුළ නොකඩවා වාර්තා වී ඇති දෛනික ආසාදිතයින් ගණන 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම එම කාලය තුළ පමණක් හඳුණාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 5,947ක් බව සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

තව ද අදාළ කාලය තුළ මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන ද වර්ධනය වී තිබෙනවා.

එම දවස් හත තුළ සිදුව ඇති මරණ ගණන 99ක්.

GMOA අනතුරු අඟවයි

මෙවන් තත්ත්වයක රට හමුවේ එමින් පවතින්නේ ඉතා බරපතල තත්ත්වයක් බව යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වා දුන්නේ ඉදිරි මාස කිහිපය තුළ කොවිඩ් තත්ත්වය දරුණු අතට පත් විය හැකි බව යි.

ඒ හරහා ජනතාවගෙන් වැඩි පිරිසක් මරණයට පත් වීමේ අවදානමක් ඇති බවට යි ඔහු බිය පළ කළේ.

"අපි විශ්වාස කරනවා ඉදිරි මාස කිහිපය ඇතුළේ නැවතත් ඉතාමත් භයානක තත්ත්වයේ, ජනතාවගෙන් මියයන සංඛ්‍යාව වැඩි වීමේ හැකියාවක් තියෙනවා" යනුවෙන් ඔහු පැවසුවා.

එමෙන්ම ඉන්දියාව වැනි රටවල්වල මේවන විට සම්පූර්ණ ප්‍රාන්තයන් පවා වසා දමා ඇති බව ද කොළඹගේ මහතා පෙන්වා දුන්නා.

මෙවන් තත්ත්වයක දී ක්‍රියාත්මක කළ යුත්තේ මීට පෙර මෙවන් අවස්ථාවල දී ගත් ක්‍රියාමාර්ග බව පවසන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවට වර්තමානයේ දී අමතක වී ඇති බව යි.

හේමන්ත කියන කතාව

අප වෙත වාර්තාවන තත්ත්වය එසේ වුවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවට තවමත් ප්‍රකාශ කළ නොහැකි බව යි.

ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ඇඳන් 6,025ක් මේවන විට ආසාදිතයින් සඳහා භාවිත කරමින් පවතින බව ද ඔහු පැවසුවා.

ඔහු සඳහන් කළේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කොට ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය 70ක්වන අතර මේ මොහොතේ දී ඒවායින් 63ක් භාවිතයට ගැනෙමින් පවතින බව යි.

එමෙන්ම ඔක්සිජන් ඉල්ලුම් ධාරිතාව ද ඉක්මවා ගොස් නොමැති බව ඔහු ප්‍රකාශ කරනවා.

හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට යළි ලොක්ඩවුන් කිරීම පිළිබඳව සිතීමට වත් නොසුදුසු බව යි.

සියළු පුරවැසියන් වගකීමෙන් කටයුතු කළ හොත් වෛරසය පැතිර යාම පාලනය කර ගත හැකි බව ද හේරත් මහතා අවධාරණය කළා.

නව අනු ප්‍රභේද දෙකක්

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදයේ නව අනු ප්‍රභේද දෙකක් මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම අනු ප්‍රභේද දෙක නම් කොට ඇත්තේ ඔමික්‍රෝන් බී1 සහ ඔමික්‍රෝන් බී2 ලෙසට යි.

පසුගිය සති තුන තුළ ලබා ගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීම හරහා ලබාගත් දත්ත අනුව මෙම අනාවරණය සිදුකරගත් බව යි අදාළ විද්‍යායතනය ප්‍රකාශ කළේ.

හඳුණා ගන්නා ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ අගයක් කරා යොමු වෙද්දී සමාජය තුළ හඳුණා නොගත් ආසාදිතයින් ද සැළකිය යුතු ප්‍රමාණයක් සිටිය හැකි බවට සෞඛ්‍ය අංශ බිය පළ කරනවා.

ඇත්ත රෝගීන් ගණන, දත්තවලින් පෙනෙන රෝගීන් ගණනට වඩා වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ද සඳහන් කළා.

මීට පෙර රෝගීන් හඹාගෙන ගොස් පරීක්ෂණ සිදු කළ නමුත් මේවන විට සිදු කෙරෙන්නේ රෝග ලක්ෂණ ඇත්තන්, සැක සහිත තැනැත්තන් සහ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීම පමණක් වන බව ද විජේසූරිය මහතා පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් සමාජය තුළ හඳුණා නොගත් රෝගීන් බොහෝ  සෙයින් සිටින බව යි ඔහු අවධාරණය කළේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “ජනතාව ඒකරාශී වීමේ සීමාවක් නැත්නම් සහ නොමිලේ ලබා දෙන එන්නත ගැනීමට පෙලඹෙන්නේ නැත්නම්, මේකෙ වැඩිවීම අහන්න දෙයක් නෑ. අනිවාර්යෙන්ම වැඩිවෙයි” යනුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 06:14