April 20, 2024

විදුලි කප්පාදුව නවතී - විදුලි ඉංජිනේරුවන්ට රතු එළි

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සඳහා වරායේ තිබු නෞකා දෙකක් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබා දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විදුලි ඉංජිනේරුවන් විදුලි කප්පාදු කිරීමේ අරමුණකින් පසුවීම නිසා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි.

කෙසේවෙතත් විදුලි ඉංජිනේරුවන්ද අද පැවසුවේ හදිසි විදුලි බිඳ වැටීම් සිදු වුවත් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි.

ජනාධිපතිවරයා සමඟ පැවති විශේෂ සාකච්ජාවේදී විදුලි කප්පාදුවක් නොකරන ලෙස උපදෙස් ලබා දී තිබු අතර  ඒ අනුව කිසිදු ආකාරයකින් විදුලිය කපප්දුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කලේ ඊයේ දහවල් කාලයේයි.

ඒත් ඉන් පැය කිහිපයකට පසු පස්වරු 6.45ට පමණ මහරගම, හෝමාගම, මාලබේ, පානදුර ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි විදුලි බිඳ වැටීම් සිදුව තිබුණා.

අද පෙරවරු කාලයේද ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම් වාර්තා වූ අතර ඒවා හදිසි බිඳ වැටීම් බවයි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.

 විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා මෙසේ සඳහන් කළා,

"විදුලි බලාගාරයක් දුවන්න වතුර නැත්තම්, ඉන්ධන නැත්තම්, ගල් අඟුරු නැත්තම් අපිට ටර්බයින් එක අතින් කරකවන්න බැහැ. ඒ නිසා විදුලි ඉල්ලුම මොන යම් විදියකින් හෝ අඩු කරන්න ඕනේ. ඒ නිසා පොඩි විදුලි කප්පාදුවක් ඊයේ සිද්ධ කරන්න වුණා සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා. මේ වන විට සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 750ක ප්‍රමාණයක් විදුලි බලාගාරවලට ලැබිලා තියෙනවා. ඒ අනුව සපුගස්කන්ද B විදුලි බලාගාරය මේ වෙනකොට මෙගාවොට් 60ක ධාරිතාවයකින් ජනනය වෙනවා. තාප විදුලි බලාගාරවල තිබුණු ජනන ධාරිතාවය අඩු වීම මේත් එක්කම නැති වෙලා යනවා. ඒ අනුව අද , හෙට මේ දවස් කිහිපයේ පවතින විදුලි අර්බුධය යම්තාක් දුරකට විසඳුමකට පත්වෙනවා. ඊයේ ගත්ත තීන්දු තීරණත් එක්ක විදුලි කප්පාදුව අපිට නවත්වන්න පුළුවන්. අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න පුළුවන් කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන්."  

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙසේ සඳහන් කළා,

"මේ සතිය අවසාන වෙනකොට ගල් අඟුරු බලාගාරයේ ඉතුරු 300ත් ක්‍රියාත්මක වුණාම තෙල් පාවිච්චිය ටිකක් අඩු කරන්න පුළුවන්. අපිට තියා ගන්න පුළුවන් ඉදිරියේදී පායන කාලය ආවම පාවිච්චි කරන්න. මොකද ජල පෝෂිත ප්‍රදේශවලට දැන් වර්ෂාව අඩු වෙලා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. අපිට මාධ්‍යට ගියාම පේනවා බොහෝ දෙනෙක් විදුලිය කපනවා කියලා කියනවා අපේ ඉංජිනේරුවරු. ඒගොල්ලන්ට ඕනේ කරලා තියෙන්නේ විදුලිය කපන්න මිසක් අමාරුවෙන් හරි විදුලිය පවත්වාගෙන යන්න නෙවෙයි. ඒ ගැන අපි කණගාටු වෙනවා. ඒ පිළිබඳවත් අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මැදිහත් වුනත් නැතත් අපි බලනවා විනය අතින් මොනවද ඒවට කරන්න පුළුවන් කියලා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 14:02