March 28, 2024

යළි විවෘත කළ පිවිසුම (PHOTOS)

වසර 03 ක පමණ කාලයක් වසා දමා තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම නැවත විවෘත කිරීමට තම්බපණ්නී සෆාරි ජීප් රථ සංගමය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

අධික වැසි ලැබෙන කාලයේදී රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කරන අතර වාන් දොරටු වලින් පිටවන ජලය මුහුදට ගලා බසින්නේ කලාඔය ඔස්සේ. ඒ අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කරන සෑම අවස්ථාවකදීම කලාඔයේ ජල මට්ටම ඉහළ යාම සිදු වෙනවා.

පුත්තලමේ සිට මන්නාරම දක්වා වන පැරණි මාර්ගය ඇත්තේ එළුවන්කුලම හරහායි. මෙම මාර්ගයේ එළුවන්කුලම දී කලාඔය හරහා ඇත්තේ සපත්තු පාලමකි. කලා ඔයේ ජල මට්ටම ඉහළ යන සෑම අවස්ථාවකදීම මෙම සපත්තු පාලම ජලයෙන් යටවී යන බවද ප්‍රදේශවාසීන් පවසනවා. එවිට පුත්තලමේ සිට මන්නාරම දක්වා එළුවන්කුලම හරහ ඇති සියළුම ප්‍රවාහන කටයුතු ඇණ හිටින බවද වාර්තා වෙනවා.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇති දෙවැනි පිවිසුම පිහිටා ඇත්තේ පෙර සදහන් කර ඇති සපත්තු පාලමට යාබදවය. විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති හොදම ස්ථානය එළුවන්කුලම බව බොහෝ දෙනෙකු සදහන් කරනවා. කොළඹ සිට ආසන්නයෙන්ම පිහිටා ඇති පිවිසුම එළුවන්කුලම වීම ඊට හේතුව වී තිබෙනවා.

වසර ගනනාවක් පැරණි මෙම සපත්තු පාලම වරින් වර අබලන් වී තිබීම හේතුවෙන්  කලාඔය සපත්තු පාලම වෙනුවට හරහා ස්ථීර පාලමක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් සෑම බලධාරියෙකුගෙන්ම ඉල්ලා සිටියා. ඒ කිසිදු ඉල්ලීමක් සාර්ථ වූයේ නැති අතර, සියළුම වාහන සුපුරුදු ලෙස පැරණි සපත්තු පාලම මතින් කලාඔය තරණය කරමින් එහා මෙහා ගිය බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

රට කරවන ඇත්තන්ගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන ඊට විකල්පයක් සොයා යන්නට එළුවන්කුළම තම්බපණ්ණී සෆාරි ජීප් රථ සංගමය කටයුතු කර තිබෙනවා. කලාඔය හරහා ෆයිබර් බෝට්ටු 12ක් තබා ඒ මත යකඩ පාළමක් ඉදි වන්නේ ඉන් අනතුරුවයි. මෙම කටයුත්ත සදහා තමන්ට රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් වැය වූ බව තම්බපණ්ණී සෆාරි ජීප් රථ සංගමය සදහන් කරනවා.

මෙම පාලම මතින් වාහන ගමන් කිරීමට හැකියාවක් නැති අතර ගමන් කළ හැක්කේ පා ගමනින් පමණක් වීම විශේෂත්වයක්. සංචාරකයින්ට නම් එයද අළුත් අත්දැකීමක් බවට පත්වනවා නොඅනුමානයි.

(ජුඩ් සමන්ත)

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 21:49