April 25, 2024

අහමඩ් සාමිවරයා ඇමති ජී.එල් හමුවෙයි

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය භුක්ති විඳින, හවුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ඓතිහාසික බැඳීම් මත පදනම් වූ ‘අද්විතීය, බහුවිධ හවුල්කාරිත්වය’ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ විදේශ අමාත්‍යාංශයේ දී දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන් හි තරික් අහමඩ් සාමිවරයා හමුවූ අවස්ථාවේදීයි.

ඊට සමාන හැඟීම් පළකරමින්, සහයෝගීතාව සඳහා පෙළඹවීමක් ලබා දෙන හවුල්කාරිත්වයේ ස්ථිර ස්වභාවය අහමඩ් සාමිවරයා පිළිගත්තා.

එක්සත් රාජධානියේ ‘ගෝලීය බ්‍රිතාන්‍යයක්’ පිළිබඳ දැක්මේ සන්දර්භය තුළ, ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමට ඇති අවස්ථාව පිළිගනිමින්, අනෙකුත් කරුණු අතර, දේශපාලන සබඳතා, වෙළඳාම, ආයෝජන සහ සංචාරක කටයුතු, ඉන්දියානු සාගර සහයෝගීතාව, ආරක්ෂක කටයුතු සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය සහ STEM සහ රැකියා උත්පාදනය පිළිබඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශ්වය උනන්දුවක් දැක්වුවා.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලද 2021 ඔක්තෝබර් මාසයේ ලන්ඩනයේ දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එලිසබෙත් ට්‍රස් මහත්මිය සමඟ පැවති තමාගේ ද්විපාර්ශ්වික හමුව පිළිබඳව ද අමාත්‍ය පීරිස් මහතා සිහිපත් කළා.

මෙම විදේශ අමාත්‍යාංශ දෙක අතර නිල මට්ටමේ උපදේශන ආරම්භ කිරීමේ පවතින වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළා.

පුද්ගලාන්තර සම්බන්ධතාවල ප්‍රබලත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය වත්මන් හවුල්කාරිත්වයට සරිලන අයුරින් සැමරීම කෙරෙහි ද සාකච්ඡාව යොමු වුණා.

ප්‍රතිසන්ධානයේ ප්‍රගතිය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්, අනෙකුත් කරුණු අතර, ස්වාධීන කොමිෂන් සභාවල කාර්යයන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා යෝජිත සංශෝධන සහ රාජ්‍ය ආයතන සහ පාලනය ශක්තිමත් කිරීමේ දී තිරසාර සංවර්ධන ඉලක්ක කවුන්සිලයේ සහ තිරසාර සංවර්ධන ඉලක්ක 16 සඳහා වන මෙහෙයුම් කමිටුවේ කටයුතු පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මහතා අහමඩ් සාමිවරයා දැනුවත් කළා.

දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ අඛණ්ඩව නිර්මාණාත්මක සම්බන්ධකම් පැවැත්වීම සඳහා රජයේ පවතින කැපවීම පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා යළි අවධාරණය කළා.

එල්ටීටීඊ සංවිධානය එක්සත් රාජධානිය තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීම තහවුරු කිරීම ඇතුළුව, ත්‍රස්ත මර්දන ක්‍ෂේත්‍රයේ දී ලබා දුන් සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට රජයේ හෘදයාංගම කෘතඥතාව පළ කළා.

එක්සත් රාජධානියේ සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාවන් එක්සත් රාජධානියේ සමෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අද්විතීය සම්පතක් බව දෙපාර්ශ්වයම හඳුනා ගත්තා. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ධනාත්මක ලෙස දායක වන, එක්සත් කිරීමේ ආඛ්‍යානයක් ගොඩනැගීම සඳහා ඩයස්පෝරාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් සියල්ල ඇතුළත් ප්‍රවේශයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

2021 නොවැම්බර් මස ග්ලාස්ගෝ හිදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (CoP 26) සාර්ථක ලෙස පැවැත්වීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ සුබපැතුම් පිරිනැමුවා.

 CoP 26 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම් අගය කළ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා, පසු විපරම් ක්‍රියාමාර්ග සහ හරිත බලශක්ති මූලාරම්භයන්ට සහය දැක්වීම සඳහා ඔවුන් දක්වන උනන්දුව පිළිබඳව දැනුවත් කළා.

කොළඹ අගනගර ප්‍රදේශයේ පිහිටි ජෛව විවිධත්වයෙන් පොහොසත් තෙත් බිමක් වන බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමිය නැරඹීමට ද ගිය එතුමා, එහිදී කුඹුක් (Terminalia arjuna) පැලයක් ද රෝපණය කළා.

ගෝලීය වෙළෙඳාම තුළ ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිගනිමින්, හවුල්කාරිත්වයේ ආර්ථික මානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව  දෙපාර්ශ්වයම එකඟ වුණා.

ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය මෑතක දී ලන්ඩනයේ දී ආරම්භ කිරීම සාදරයෙන් පිළිගනිමින්, දෙපාර්ශ්වයම තවදුරටත් ශක්තිමත් ව්‍යාපාර අන්තර සබඳතා දිරිමත් කළා.

පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ පවතින සබඳතා දෙස අලුතින් බැලීම සඳහා ලැබී ඇති අවස්ථාව පිළිගනිමින්, රුවන්ඩාවේ කිගාලි හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහ බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට දෙපාර්ශ්වයම අපේක්ෂාව පළ කළා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා විදේශ අමාත්‍යාංශයේදී අත්සන් තැබීම, මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ රැකියා අවස්ථා ලබා දෙන මෙම අවබෝධතා ගිවිසුම සඳහා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මැතිතුමා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් අහමඩ් සාමිවරයා අත්සන් තැබුවා.

 

Rate this item
(0 votes)