April 16, 2024

කිලිනොච්චියෙන් මිනිස් ඇටසැකිලි මතුවෙයි (PHOTOS)

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ මුහමාලෙයි ප්‍රදේශයේදී ඊයේ (19) දින බිම්බෝම්බ ඉවත් කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයකට මිනිස් හිස්කබලක් ඇතුලු අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් අනතුරුව වැඩිදුර කැනීම් සිදු කල බවට පොලීසිය පැවසුවා.

මුහමාලෙයි ප්‍රදේශයේ මේ දිනවල යුදසමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කාර්යේ නිරත රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයින් පිරිසක් විසින් අදාල ස්ථානයේ පොළවේ කැනීමක් සිදුකරන අවස්ථාවේදී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් මේ පිළිබඳව පලෙයි පොලීසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පලෙයි පොලීසිය විසින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඇලෙක්ස් ඩී.රාජා මහතා මුහමාලෙයි මිනිස් ඇටසැකිලි හමු වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා.

එහිදී කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා විසින් මිනිස් ඇටසැකිලි ඇති බවට සැකකෙරෙන තවත් ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදු කරන ලෙසට නියෝග කිරීමෙන් පසුව තෝරා ගත් ස්ථාන කිහිපයක ඊයේ (19) දිනයේදී සිදු කරන ලද කැනීම් වලදී මිනිස් අස්ථි කොටස් කිහිපයක්, එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිලඇඳුම් කොටස් කිහිපයක්, අත්බෝම්බයක් ආදි යුද උපකරන කිහිපයක්ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

කෙසේ වෙතත් අදාල ස්ථානයේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර හමුවූ අස්ථි කොටස් කුමන පාර්ශවයකද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතරම එම අස්ථි කොටස් රජයේ රසපරික්ෂක වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මුහමාලෙයි ප්‍රදේශයේදී වලදමා තිබූ මිනිස් අස්ථි කොටස්, ආයුධ, එල්.ටී.ටී.ඊ නිලඇඳුම් ඇතුලු උපකරණ රැසක්ම හමුවී තිබුණා.

 

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)