April 18, 2024

සතුන්ගේ කූඩුවල ඉබි යතුරු කඩා දමයි - සේවකයින් සත්තුන්වත් ග්‍රහණයට අරන් Featured

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මිය යාම සහ රෝගී වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සහ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සොයා නොබලන බවට පවසමින් ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය හා ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ සේවකයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 18 වනදායි.

මේ අතර සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ විරෝධතාවයේ නිරත සේවකයින් විසින් සතුන්ගේ අගුලු මාරු කර කුටි විවෘත කිරීමට නොහැකි වන ලෙසට සකසා තිබූ බවයි.

පසුව එම දොරගුළු කඩා සතුන්ට ආහාර පාන ලබා දීමට කටයුතු කළ බවද සත්වෝද්‍යාන පාලන අධිකාරිය සඳහන් කළා.

ඊට අමතරව සතුන්ට ජලය සපයන ජල නල අක්‍රිය කර තිබූ බව පාලන අධිකාරිය සඳහන් කළා.

සිය ගැටළු වලට විසඳුමක් නොලැබුණහොත් අද දින සත්වෝද්‍යානයේ සතුන් හට ආහාර සැපයීමෙන් වලකින බවට සත්වෝද්‍යාන සේවකයින් ප්‍රකාශ කර තිබුණේ එවන් පසුබිමකයි.

කෙසේවුවත් පාලන අධිකාරිය ප්‍රකාශ කලේ සත්‍යග්‍රහයේ නිරත සේවකයින්ගේ මුලික ඉල්ලීම වූ රුපිය 5000 අනතුරු දීමනාවට එකඟතාවය පළ කළේ එය ඉදිරි කටයුතු සඳහා පරිපාලන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි.

විරෝධය දැක්වූ අනෙක් කරුණ වූයේ පශු වෛද්‍යවරුන් ඉවත් කරන ලෙස කරන ඉල්ලීම් පදනම් විරහිත වීම හේතුවෙන් නිසි පරීක්ෂණයක් නොමැතිව එය සිදු කල නොහැකි බවද පාලන අධිකාරිය ප්‍රකාශ කළා.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියගෙන් මේ පිළිබඳ ව විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ, සත්ත්වෝද්‍යාන පරිපාලනය තුළ විවිධ නිලධාරින් සිදු කර ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ නීතිවිරෝධී ලෙස සතුන්ගේ වසුරු යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොර සම්බන්ධයෙන් ද තමන් මේ වනවිට පොලීසියට පැමිණිල්ලක් සිදු කර, පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

Rate this item
(0 votes)