March 28, 2024

රට හාල් වලට ඉල්ලුම වැඩි වෙයි

ගත වූ සතිය තුළ වෙළදපළේ සියළුම සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මහබැංකු දෛනික වාර්තාවට අනුව පිටකොටුව තොග වෙළදපළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක් වන අතර නාඩු සහල් කිලෝවක් රුපියල් 148ක මිලක පවතිනවා.

සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 157කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 160ක් ලෙස සටහන් වුණා. 

ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව සුදු කැකුළු සහල් හැර අනෙකුත් සියළුම සහල් වර්ගවල මිල රුපියල් 5කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ආනයනික සහල් පවතින්නේ සාපේක්ෂව පහළ අගයකයි.

ඒ අනුව පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 126ක්, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 120ක් සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 122ක් ලෙසයි සටහන් වුණේ.

මෙම තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් දේශීය සහල් මිල දී නොගන්නා තත්ත්වයක් පවතින බවයි වෙළෙඳුන් පවසන්නේ.

කෙසේ වෙතත් අවසානයේ ජනතාවට සිදුව ඇත්තේ ප්‍රමිතියෙන් උසස් සහල් මිලදී ගැනීම වෙනුවට වෙළෙඳපොලේ අඩු මිලට ඇති ඕනෑම සහල් වර්ගයක් මිල දී ගැනීමටයි.

මේ අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් ඊයේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පා ගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා. 

ඒ, රට තුළ උද්ගත වී ඇති සහල් අර්බුදයත් සමග මහ කන්නයේ නෙලා ගත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වී අස්වැන්න පිටත්සර ප්‍රදේශවලින් පැමිණෙන වී මෝල් හිමියන්ට අලෙවි නොකරන ලෙස ඉල්ලමින්.

මේ අතර ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද (19) ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ අනුව එම සහල් කන්ටේනර් ඉදිරි දින කිහිපයේ වරායෙන්  නිදහස් කරගැනීමට හැකිවන බව ඔහු සඳහන් කළා.

එම  සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ වෙළෙඳ පොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි කී ඇමති ගුණවර්ධන මහතා පෞද්ගලික අංශයෙන් සහ සතොස මගින් ආනයනය කරන සහල් තොග  ද වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සමග සහල් මාෆියාව අවසන් වනු ඇතැයි ද සඳහන් කළා.

Rate this item
(0 votes)