April 20, 2024

පොහොට්ටුවේ රහසක් හෙලි කළ ශර්මිලාට එරෙහිව ඇතුලෙන්ම කුමන්ත්‍රණයක්

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියවන ශර්මිලා රාජපක්ෂ මහත්මියට බැණ තර්ජනය කිරීමේ සිදුවීමක් ඒෂියන් මිරර් අප පසුගිය දිනෙක වාර්තා කළා.

පින්නවල අලි අනාථාගාරයේ පැවැති උත්සවයකට අදාළ ආරාධනා පත්‍රයක, එම උත්සවය සිය ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ යැයි සඳහන් නොකළ බවට වූ “බොළඳ” ගැටළුවක් මූලික කරගෙන යි දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස දුරකතනය ඔස්සේ රාජපක්ෂ මහත්මියට බැණවැදී තිබුණේ.

අප එම පුවත තුළින් වැඩිදුරටත් අනාවරණය කළේ අදාළ ආරාධනා පත්‍රය හා සම්බන්ධ සිද්ධිය මත පදනම්ව රාජ්‍ය අමාත්‍යවරයා ශර්මිලා රාජපක්ෂ මහත්මිය සමග විරසක වීමෙන් නොනැවතී ඇගෙන් පළිගැනීමේ සැළසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව යි. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක වෘත්තීය සමිතියක් උසිගන්වා වැඩවර්ජනයක් සංවිධානය කරවා, එය හරහා අධ්‍යක්ෂ ධූරය රාජපක්ෂ මහත්මියගෙන් ඉවත් කිරීමට විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අරමුණු කරගෙන සිටින බව යි ඒෂියන් මිරර් අප වැඩිදුරටත් හෙළි කළේ.

කියවන්න: ඇමති විමලවීර, වියත්මගේ ශර්මිලාට බැණ තර්ජනය කරයි! පළිගැනීමේ අමුතු සැළසුමත් එළියට!

සැලසුම ක්‍රියාත්මක වෙයි

අපගේ එම හෙළිදරව්ව සත්‍යයක් බව සනාථ කරමින් ඊයේ (18) එම දෙපාර්තමේන්තුවේ සේවක වෘත්තීය සමිතියක් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුන් එහි දී සත්‍යග්‍රහයක් ද ආරම්භ කළා.

ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයෙන් බල කර සිටින්නට වූයේ ශර්මිලා රාජපක්ෂ මහත්මිය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් පහකරන ලෙසට යි.

විරෝධතාවක් සමග සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි ජනතාවට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද නවතා දැමීමට එම සේවකයින් ක්‍රියා කළා.

ඉන් ජනතාව දැඩි අසීරුතාවකට පත් වූ අතර පසුව වෙනත් නිලධාරීන් පිරිසක් පැමිණ ප්‍රවේශපත්‍ර ලබා දීමට මැදිහත් වූවා.

වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටි සේවකයින් එයට දැඩි විරෝධයක් පළ කළ අතර පොලීසියට ද එම අවස්ථාවට මැදිහත් වීමට සිදු වූවා.

සත්තු වෙනුවෙන්ලු

අදාළ විරෝධතාවට සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් මහතා සඳහන් කළේ තමන් මෙම විරෝධතාවයේ යෙදෙන්නේ හඬක් නොමැති සතුන් වෙනුවෙන් බව යි.

සත්වෝද්‍යානයේ සතුන් මියයමින් පවතින බවත් එයට හේතුව ශර්මිලා රාජපක්ෂ මහත්මිය බවත් ඔහු පවසනවා.

ක්‍රිස්ටෝපර් මහතා වැඩිදුරටත් පැවසුවේ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරු දෙදෙනෙකු ඉවත් කළ අතර අනෙකුත් පශූ වෛද්‍යවරු ද ඉවත් කළ යුතු බව යි.

එමෙන්ම රුපියල් 5000ක දීමනාවක් පිළිබඳව ද ඔහු මැසිවිලි නැගුවා.

දේශපාලන සත්තු

මේ අතර මේ පිළිබඳව ඒෂියන් මිරර් සිදු කළ විමසීමක දී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ සේවක සේවිකාවන්ගේ පක්ෂ පාට අනුව වෙනස් කොට සලකන ලෙසට ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය තමන්ට බලකරන බව යි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සේවක සේවිකාවන් හැර අනෙකුත් පක්ෂවල සේවක සේවිකාවන් සේවයෙන් ඉවත් කරන ලෙසට අදාළ සේවක සංගමය පවසන බව යි ඇය පැවසුවේ.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූයේ තමන් බැවින් තම සංගමයේ සේවකයින් සමග පමණක් වැඩ කරන ලෙසට අදාළ වෘත්තීය සමිතිය පවසන බව ද රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළා.

පොහොට්ටුවේ හොරකමක්

එමෙන්ම මෙම විරෝධතාවයට හේතුවක් වූ තවත් ප්‍රබල කරුණක් පිළිබඳ ශර්මිලා රාජපක්ෂ මහත්මිය අප වෙත අනාවරණය කළා.

ඇය පැවසුවේ අදාළ සේවක සංගමයේ ප්‍රබලයින් පිරිසක් විසින් සත්වෝද්‍යානය තුළ නීති විරෝධී පොහොර ව්‍යාපෘතියක් සිදු කරගෙන ගොස් ඇති බව යි.

එම ව්‍යාපෘතිය මගින් රාජ්‍ය දේපල අවභාවිතවන බවට අනාවරණය වූ බවත්, ඒ අනුව එය වහාම නතර කිරීමට තමන් කටයුතු කළ බවත් පවසන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය හරහා රාජ්‍ය දේපල අවභාවිත වීම සම්බන්ධව තමන් විසින් සිදුකරනු ලබන පරීක්ෂණවලින් ගැලවීම සඳහා තමන්ව ඉවත් කිරීමේ උද්ඝෝෂණයක් අරඹා ඇති බව යි.

කුමන වෘත්තීය ක්‍රියාමාර්ග ගත්ත ද රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තමන් කිසිසේත් නතර නොකරන බව ද ශර්මිලා රාජපක්ෂ මහත්මිය අප වෙත අවධාරණය කළා.

එම පරීක්ෂණ හරහා වැරදිකරුවන්ට දඬුවම් ද ලබා දෙන බව ඇය සඳහන් කර සිටියා.

සතුන්ගේ මරණ ගැන ඇත්ත

මේ අතර සතුන් මියයාම සම්බන්ධව නැගෙන චෝදනාවට ද ඇය පිළිතුරු ලබා දුන්නා.

එහි දී රාජපක්ෂ මහත්මිය අනාවරණය කළේ මියගොස් ඇති සතුන් ගණන ප්‍රතිශතාත්මකව ඉතා සුළු අගයක් බව යි.

සත්වෝද්‍යානයක් තුළ එවන් සුළු ප්‍රතිශතයක සතුන් ප්‍රමාණයක් මරණයට පත් වීම ඉතා සාමාන්‍ය දෙයක් බව ද ඇය පෙන්වා දුන්නා.

එය එසේ වුවත් මියගිය සෑම සත්වයෙක් සම්බන්ධවම මරණ පරීක්ෂණ නිසි පරිදි පවත්වා ඇති බව යි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ශර්මිලා වාසනාවක්ලු

මේ අතර දෙහිවල සත්වෝද්‍යාන සේවකයින්ගේ විරෝධතාවට සමගාමීව හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් ද විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් සෆාරි උද්‍යානයේ ස්ථාන භාර පශූ වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිමාන්න ප්‍රකාශ කළේ ශර්මිලා රාජපක්ෂ මහත්මිය යනු දෙපාර්තමේන්තුවේ වාසනාවකට ලැබුණු අධ්‍යක්ෂ ජෙනරාල්වරියක් බව යි.

එබැවින් ඇයව ඉවත් නොකරන ලෙසට ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

පොහොට්ටුව ඇතුලේ ගැටුම්

ශර්මිලා රාජපක්ෂ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ඇය වර්තමාන රජය සහ ජනාධිපතිවරයාව බලයට පත් කිරීම සඳහා “වියත් මග” සංවිධානය හරහා කැප වූ තැනැත්තියක්.

එවන් පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් විසින්ම ඇයට එරෙහිව මෙලෙස ක්‍රියා කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරු, වියත් මග නියෝජනය කරන්නන් හට විරෝධයකින් කටයුතු කරන බව දේශපාලන කරළියේ ප්‍රසිද්ධ රහසක් ද වනවා.

ඉහත කී සිදුවීම පිටුපස එම හේතුව ද පවතින බව යි බැලූ බැල්මට ද පෙනී යන්නේ.

එමෙන්ම තමන් ද නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවය තුළින්ම රාජපක්ෂ මහත්මිය වෙතට මෙම විරෝධය පැමිණෙන්නේ එම පෙරමුණට මුවා වී සිටින දූෂිතයින් හෙලිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවට ද සැලකිය හැකි යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 11:31

Related items