April 24, 2024

පල්ලියට බෝම්බෙ ගෙනාවේ මෙහෙමයි..පොලීසිය කළේ බොරුවක් - CCTV දර්ශන කාදිනල් හිමි මාධ්‍යට මුදා හරී

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විශේෂ අනාවරණයක් සිදුකළා.

එම සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වඩා පොලීසිය සිදු කර ඇත්තේ කතන්දරයක් ගොතන්නට කටයුතු කිරීම බවයි කාදිනල් හිමියන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බවත් පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ අදහස් පළකළා.

සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් අද මාධ්‍යයට නිකුත් කළා. එම දර්ශනවලට අනුව බෝම්බය තැබූ සැකකරු බෑගයක් අතැතිව 9.52ට පමණ දේවස්ථානයට ඇතුළු වෙයි. 

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

"අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ 'මුනි' කියන කෙනා කියලා. පොලීසිය අපිට කිව්වේ හවස 3න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට. ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා. අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට. ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ. ඒ නිසා කරුනාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න."

මෙය කුමන්ත්‍රණයක් බවත්, පොලිසිය දේශපාලකයන් මෙන් වංකව කටයුතු කළ යුතු නැති බවත්, එසේ කරනවා නම් නිල ඇදුම් ගලවා දමන ලෙසත් උන්වහන්සේ කියා සිටියා.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වැනිදාය. 

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සොයාගන්නා ලද එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එදිනම නිෂ්ක්‍රීය කරනු ලැබුවා. 

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර විමර්ශනවලදී හෙළිවූයේ සැකකරුවන් අතර සිටින 56 හැවිරිදි අයෙකු 13 හැවිරිදි දරුවෙකු ලවා අත්බෝම්බය සුරුවම මත තබා තිබූ බවයි.

පසුගිය මාස 9ක කාලයක සිට එම සැකකරු දේවස්ථානයේ නේවාසිකව සිට ඇති අතර බෝම්බය ඇටවීම සඳහා යොදාගත් ද්‍රව්‍ය ඔහුගේ කාමරයේ තිබී සොයාගැනීමට ද පොලීසියට හැකිවුණි.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 January 2022 12:11