April 19, 2024

5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත්

ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයටද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07, 10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවයි.

පෞද්ගලික අංශයේ ඇඟලුම් ක්ෂේත්‍රය, වතු ක්ෂේත්‍රය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා ඔවුන් සමග මෙම පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන සුහද සාකච්ඡා සිදු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශ සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු සහභාගි වීමට නියමිතයි.

පසුගිය 03 වනදා මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූවේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)