March 29, 2024

අද කාලගුණය : ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 පමණ තරමක තද සුළං බලාපොරොත්තු වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි බවත් තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බවත් මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.

මේ අතර ඊයේ (02) රත්නපුර දිස්ත්‍රික්කයේ ගල් වැටීමේ අවධානමක් හේතුවෙන් පවුල් 4ක පුද්ගලයින් 18 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානමක් හේතුවෙන් පවුල් 3ක පුද්ගලයින් 12දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කිලිනොච්චියේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් එක්‌ පවුලක පුද්ගලයින් 4 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර යාපනයේ අධික සුලඟ හේතුවෙන් පවුල් 14ක පුද්ගලයින් 37 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මේ අතර මුලතිව්හි අධික වර්ෂාව හේතුවෙන් එක්‌ පවුලක පුද්ගලයින් 4 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ත්‍රිකුණාමලයේ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 2ක පුද්ගලයින් 2දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම ආපදා හේතුවෙන් සමස්ත පුද්ගලයින් 78දෙනෙකු පිඩාවට පත් වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 07:00