March 29, 2024

ඖෂධ හිඟයක් අතලඟ! රට ඖෂධ වෙනුවට ලැබෙන දේ Featured

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසනවා.

ඩොලර් හිඟය හේතුවෙන් නිකුත් කර ඇති ටෙන්ඩර්වලට ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එකම විසඳුම

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන, සැපයීම්, නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ඖෂධ ආනයනය කිරීමට පිරිනමා ඇති ටෙන්ඩර් හැට එකකට ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමටයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත විවිධ වෙළෙඳනාම යටතේ එකම ඖෂධය වර්ග කිහිපයක් ආනයනය කරන බව අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින අර්බුදයට විකල්පයක් ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් අටක නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන ලෙස ඖෂධ සැපයීම, නිෂ්පාදනය හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

මෙම ආයතනවල ඉතා ඉහළ ගුණාත්මක හා තත්ත්ව පාලනයෙන් යුතු ඖෂධ වර්ග 124ක් නිෂ්පාදනය කෙරෙනවා.

ඉදිකළ ඖෂධ කම්හල වසා දාලා

රටට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට රජය තීරණය කර ඇති අතර මේ වන විට ඖෂධ කර්මාන්තශාලා දහයක් පමණ ඉදි වනවා.

පිළිකා මර්දන ඖෂධ ඇතුළු තවත් ඖෂධ වර්ග සකස් කළ හැකි කර්මාන්ත ශාලාවක් ඉදිකර නාරම්මල ප්‍රදේශයේ වසා දමා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එම කර්මාන්ත ශාලාවේ පිළිකා මර්දන ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් අවසර නොදීම ඊට හේතු වී තිබෙනවා.

එම කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනයට සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ වාර්තාවක් ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ද ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ඖෂධ හිඟයක්

විදේශීය රටවලින් ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රට තුල පවතින විදේශ සංචිත හිඟය හමුවේ මේ වනවිට සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ආනයනය ද අර්බුදකාරි තත්ත්වයක පවතිනවා.

කෙසේ වෙතත්, දැනට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නොමැති බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පැවසුවේ.

ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට ප්‍රමුඛතාවය හිමි නොවුනහොත් ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව එහි සභාපති අජිත් පී. තිලකරත්න මහතා කියා සිටියා.

Rate this item
(0 votes)