April 20, 2024

හෙට තවත් මිල වැඩිවීමක්! කිරිපිටි ඕන නම් යෝගට් ගැනීමත් අනිවාර්යය කෙරෙයි!

December 29, 2021

බොහෝ විට හෙට (30) දිනයේ කිරිපිටි මිල යළිත් ඉහළ යනු ඇති බවට පුවත් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස ඉහළ යාමට නියමිතව ඇත්තේ විදෙස් රටවල්වල සිට ආනායනය කරනු ලබන කිරිපිටි වර්ගවල මිල බව සඳහන්.

මෙරට පාරිභෝගික ජනතාවගේ වැඩි පරිභෝජනයට ලක්වන්නේ ද ආනායනික කිරිපිටි වර්ග යි.

අලුත් මිල ගණන් හෙට

එවන් පසුබිමක කිරිපිටි ආනායනකරුවන්ගේ සංගමය ද ප්‍රකාශ හෙට දිනයේ දී මිල ඉහළ යනු ඇති බව යි.

මිල ඉහළ දමන ආකාරය පිළිබඳව හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක් බණ්ඩාර මහතා පවසා සිටියා.

ආනායනික කිරිපිටි මිල පසුගිය ඔක්තෝබර් මාසයේ දී ද ඉහළ දමනු ලැබුවා.

ඒ, එම කාලයේ ජනතාව මහත් අපහසුතාවට පත් කළ කිරිපිටි හිඟය නිමා කරමින්.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 225කින් ඉහළ දැමීමට ඒ මොහොතේ දී කිරිපිටි ආනායනකරුවන් කටයුතු කර තිබුණා.

එම මිල ඉහළ දැමීමට පෙර වෙළඳපොළේ කිරිපිටි හිඟයක් හටගත් අයුරින්ම මේවන විට ද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ආනායනික කිරිපිටි දැඩි ලෙස හිඟ වී ඇති බව ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.

දිවයින පුරා කිරි පෝලිම්

මෙම තත්ත්වයත් සමග දේශීය කිරිපිටි සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ නිසාම එම කිරිපිටි වර්ග ද වෙළඳපොළෙහි දුලබ වී තිබෙනවා.

එමෙන්ම දේශීය කිරිපිටි මිලට ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය ප්‍රදේශ රැසක දක්නට ලැබුණා.

එලෙස පෝලිම්වල රැඳී සිටිය ද කිරිපිටි පැකට්ටුවක් මිලට ගැනීමට නොහැකි අවස්ථා බහුල බව යි ජනතාව පවසා සිටියේ.

දේශීය සමාගම්වලින් අමුතු වැඩක්

මේ අතර මෙම තත්ත්වය දඩමීමා කරගෙන ඇතැම් දේශීය කිරි නිෂ්පාදන ආයතන සිය අනෙකුත් නිෂ්පාදන ද අළෙවි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන බව ද වාර්තා වෙනවා.

ඒ ජනතාව තවදුරටත් අපහසුතාවට පත් කරමින්.

නුගේගොඩ ප්‍රදේශයේ දේශීය කිරිපිටි නිෂ්පාදන ආයතනයක අළෙවිසැළක් ඉදිරිපිට කිරිපිටි පෝලිමක රැඳී සිටි ජනතාව ප්‍රකාශ කළේ කිරිපිටි පැකට්ටු 05ක් ලබා ගැනීමට නම් එම ආයතනයෙන් යෝගට් මිලට ගැනීම අනිවාර්ය කර ඇති බව යි.

දියර කිරිවලටත් හෙණහුරෙක්

කෙසේ වෙතත් මෙවන් පසුබිමක දේශීය දියර කිරි නිෂ්පාදනය ද අධෛර්යමත් වන ආකාරයේ කරුණක් පිළිබඳ වාර්තා වෙනවා.

දියර කිරි නිෂ්පාදනයේ දී යොදාගන්නා ඇසුරුම්වලට රජය විසින් අයකරනු ලබන බද්දක් මීට හේතු වී තිබෙනවා.

ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහන් කරන්නේ ආනායනය කරනු ලබන මෙම ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අයකරන බව යි.

මේ හේතුවෙන් මෙරට දියර කිරි කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව යි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

රජයට ඉල්ලීම්

ජාතික පශු සම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම බද්ද ඉවත් කර ගැනීම සඳහා රජය වෙත ඉල්ලීම් ද ඉදිරිපත් කර ඇති බව යි.

විදෙස් රටවල්වල සිට කිරි පිටි ආනයනය සීමා වී ඇති පසුබිමක මෙම බද්ද මගින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තයට බදු පැනවීම මගින් කර්මාන්තකරුවන්ට සහ ඒ සම්බන්ධ යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව පශු සම්පත් මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඇසුරුම් සඳහා පනවා ඇති මෙම බද්ද හේතුවෙන් කර්මාන්තකරුවන්ට සිදුව ඇති ගැටලු මගහරවා ගැනීම පිණිස දියර කිරි මිල ඉහළ නංවන ලෙසට ද මේවන විට රජයට යෝජනා ද ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් දියර කිරි මිල ඉහළ නැංවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික පශු සම්පත් මණ්ඩලය අවධාරණය කළා.

දියර කිරි ඇසුරුම් වරායේ සිර වෙයි

මේ අතර ඩොලර් අර්බුදය හේතුවෙන් වරායෙහි සිර වී ඇති භාණ්ඩ අතර දේශීය දියර කිරි කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන සඳහා යොදාගන්නා ඉහත කී ඇසුරුම් ද තිබී ඇති බව යි වාර්තා වන්නේ.

ඉන් කොටසක් පසුගිය දා නිදහස් කර ගැනීමට සමත් වූ බව ද සඳහන්.

එලෙස නිදහස් කර ගත් ඇසුරුම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් 36,000ක් පමණවන බවත් එම කාර්යයට ජාතික පශු සම්පත් මණ්ඩලය මැදිහත් වී ඇති බවත් පැවසෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 19:48