April 19, 2024

මන්ත්‍රීවරු 225ටම තිස්ස කුට්ටිගෙන් උපදෙසක් - ආර්ථික අර්බුධයට විසඳුමත් කියයි

December 24, 2021

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, තම වැටුප පරිත්‍යාග කිරීමට දැනටත් තීරණය කර ඇති බවයි.

ලබන ජනවාරි 18 වැනිදා පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ වීමෙන් පසුව සිය මාස හයක වැටුප බදුල්ල දිස්ත්‍රික් දුක්විදින ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට යොමු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දෙන බවත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ගේම මාස හයක වැටුප රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්න හැකියාව තිබේ නම් ආර්ථික අපහසුතාවට පත්ව තිබෙන මේ අවස්ථාවේදී අවවාදයට වඩා එය ආදර්ශයක් යැයි ප්‍රදර්ශනය කළ හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම මාස 6ක් කප්පාදු කරලා රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්න පුළුවන් නම් මේ රටේ ප්‍රශ්නයට යම් විසඳුමක් වෙනුවෙන් ආදර්ශයක් විදියට මේ කාර්ය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අපෙන් පටන් ගමු කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරනවා. ජනවාරි 18 පාර්ලිමේන්තුවේ ඊළඟ සැසි වාරය ආරම්භ කරන්නේ. එදාට මහ ලේකම්ට මම ලිඛිතව ලිපියකින් භාර දෙන්න සුදානමින් ඉන්නවා මගේ මාස 6ක වැටුප කප්පාදු කරලා බදුල්ල දිස්ත්‍රික්කයේ දුක් විදින ආදරණිය ජනතාව වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට යවලා. නිල වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් යොමු කර ගන්න කියන යෝජනාව කරන ගමන් අතිගරු ජනාධිපතිතුමාට මම යෝජනා කරනවා. ඔබතුමාට පුළුවන් නම් මේ වෙලාවේ සමස්ත 225 වෙනුවෙන්ම යෝජනාවක් කරලා ඔබ තුමාගේ බලය පාවිච්චි කරලා මේ මාස 6ට වැටුප නතර කරලා ඒක මහා භාණ්ඩාගාරයට ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අර අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන සංකල්පය තුල ඉඳගෙන අනුන් කරනකන් බලාගෙන ඉන්නේ නැතුව මේ කාරණයට සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම මම අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 16:52