March 28, 2024

වෛද්‍ය සාෆි නිසා ආණ්ඩුව ලොකු අවුලක - මහා සංඝරත්නයෙන් දැඩි තීන්දුවක්

December 18, 2021

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් නිකුත් කොට ඇති නියෝගය වහා අකුළා නොගන්නේ නම් මහා සංඝ රත්නය මුලිකව රට පුරා දැඩි විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍යය ලියන්වල සාසනරතන හිමියෝ අවධාරණය කරනවා.

මහනුවරදී අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සාසනරතන හිමියෝ කියා සිටියේ වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු අවසන් වීමටද ප්‍රථමයෙන්, අධිකරණ තීන්දුවක් ලබාදීමටද ප්‍රථමයෙන් ඔහුගේ හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍යය ලේකම්වරයාට ඇති හදිසිය හා උවමනාව කුමක්ද යන්න පිළිබඳව හා එම තීන්දු තීරණ පිටුපස සිටින්නේ කවුදැයි යන්න පිළිබඳව රටට හෙළි කළ යුතු බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ සාසනරතන හිමියෝ මෙසේද සඳහන් කළා.

"පසුගිය සමයේ මේ රටේ ඉස්ලාම් අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය ක්‍රියාත්මක කිරීමේ සැකසහිත කටයුතු රැසක් ක්‍රියාත්මක වුණා. කුරුණෑගල රෝහලේ  වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ ක්‍රියාවක් එවන් සැකකටයුතු සිද්ධියක් වශයෙන් ආන්දෝලනයට ලක් වුණා. ඔහුට තිබුණ චෝදනාව දරුවන් ප්‍රසූත කරන සැත්කම් සිදු කරන අවස්ථාවේ සිංහල මව්වරුන් හාරදාහකගේ පමණ  පැලෝපීය නාල අවහිර කොට නැවත දරුවන් ප්‍රසූත කිරීමේ අවස්ථාව අහෝසි කිරීම. මේක ඉතාමත් නින්දිත, තුච්ච, තිරිසන්, අමානුෂික චෝදනාවක්. සහරාන් සිදුකල මනුෂ්‍ය ඝාතනයටත් වඩා දරුණු චෝදනාවක්. මේ සම්බන්ධයෙන් මව්වරු දහසක් පමණ කුරුණෑගල රෝහලේ දී සාක්කි ලබා දුන්නා. ඊට අමතරව රෝහලේ දී දරුවන් මාරු කිරීම සම්බන්ධයෙන් සාෆි ෂිහාබ්දීන්ට චෝදනා තියනවා. ඔහුගේ ගිණුම් වලට රුපියල් කෝටි ගණන් වැටිලා තිබුනා. කුරුණෑගල නගරයේ දේපොළ මිලදී ගැනීම් වාර්තා වෙලා තිබුණා. මේ චෝදනා එකක් ගැනවත් හරිහැටි පරීක්ෂණ කරලා තියෙනවද? එදා පොලිසියේ තිසේරලා, ශානි අබේසේකරලා සාෆි ෂිහාබ්දීන්ට වාසි වෙන විදියට තමයි පොලිසියේ චෝදනා ගොනු කරලා තිබුණේ. එදා පාස්කු ප්‍රහාරය, සාෆි ෂිහාබ්දීන්ගෙ සිද්ධිය, ජාතිවාදය, ආගම්වාදය ප්‍රබල මාතෘකා බවට පත් කරගනිමින් එක රටක් එක නීතියක් කියලා බලයට පත්වූ මේ රජය අද කරන්නේ මොනවාද? ඒ හැටනව ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වුණේ මේකද ? එක රටක් තුළ එක නීතියක් මෙම ජනතාව බලාපොරොත්තු වුණත් ඔවුන්ට ඒ පොරොන්දුව අද ඉටු වෙලා තිබෙනවාද? රටේ ව්‍යවස්ථාව පවා අභියෝගයට බරපතළ හෑල්ලුවට ලක්කරමින්, රටේ නීතිය අභියෝගයට ලක් කරමින් බරපතළ ජාතිවාදී ප්‍රකාශ සිදු කළ හිටපු ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු අද කිසිදු ප්‍රශ්නයකින් තොරව අද බරපතළ ආකාරයෙන් රට සහ රජය විවේචනය කරමින් නැවතත් ඔවුන්ගේ සුපුරුදු ජාතිවාදය, ආගම්වාදය පතුරමින් ඉන්නවා."

"අපි අධිකරණයේ තීන්දු විවේචනයට ලක් කරන්නේ නෑ. නමුත් මේ ජාතිවාදීන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අපේ ආරක්ෂක අංශ ඒ කටයුතු නිවැරදිව නිසියාකාරව නොකරන බව අද මේ රටේ ජනතාවට පැහැදිලිවම දක්නට ලැබෙනවා. අද මේ රට අයාලේ යන රටක් බවට පත්වෙලා තියෙනවා, රට වෙනුවෙන් තීන්දු තිරණ ගන්න කෙනෙක් නෑ. ජනතාව අන්තිම අසරණ තත්වයට වැටිලා ඉන්නේ. රජය නෙවෙයි තීන්දු තීරණ ගන්නේ ව්‍යාපාරිකයෝ හා දේශපාලඥයෝ සහ ඔවුන්ගේ ගජ මිතුරෝ. අද රටේ ප්‍රධාන අමාත්‍යාංශවල ලේකම්වරු, ප්‍රධානීන් අත්තනෝමතිකව ඔවුන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. ජනාධිපතිතුමා ඇතුළු රජයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිහඬව ඉන්නවා. මේකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. හැමදේටම කොරෝනා, කොරෝනා කිය කියා ඇඟ බේර ගන්නවා. මේ නිලධාරීන් රජය අපහසුතාවයට පත් කිරීමේ කොන්ත්‍රාත් එකක් භාරගෙන තියෙනවද කියන සැකය අපිට තියෙනවා. නිලධාවාදය එදත් තිබුණා. එදාටත් වඩා අද තියෙනවා. නමුත් අපි මෙහිදී එකක් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා කොන්ද කෙලින් තියාගෙන ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. සාෆිට තියෙන චෝදනා සහ ඔහුගේ වැටුප් නොගෙවීම පිළිබඳව කරුණු දක්වලා. ඒ අධ්‍යක්ෂකවරයාට අපේ ප්‍රශංසාව හිමි වෙනවා."

"එදා පාස්කු ප්‍රහාරයට ගොදුරු වු අපේ සහෝදර කිතුනු ජනතාවට මේ දක්වාම යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ. තවමත් චෝදනා ගොණු කර කර අරයට මෙයාට බෝලේ පාස් කර කර ඉන්න එක තමයි වෙන්නේ. අපි සෞඛ්‍යය  අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජාතික සංඝ සම්මේලනය වශයෙන් දැඩිව කියා සිටින්නේ මෙයින් නීතිමය කටුයුතුවල අවසානයක් වෙලා තීන්දුවක් දෙනකම් සාෆි ෂිහාබ්දීන්ගේ හිග වැටුප් ගෙවීමට හෝ නැවත සේවයේ පිහිටුවීමට ඉක්මන් වෙන්න එපා කියලයි. එහෙම කළොත් මේ රටේ මහා ජනතා කැලඹීමක් ඇතිවෙන්න පුළුවන්. මේ තීරණය අකුලා නොගත්තොත් මහා සංඝරත්නය වශයෙන් අපි පාරට බැහැලා දිගින් දිගටම විරෝධතා පවත්වනවා. මේ විදිහට ගියොත් අන්තිමේට සාෆි ෂිහාබ්දීන්ට විරුද්ධව සාක්කි දුන්නු අහිංසක අම්මලා ටික අල්ලලා හිරේ දායි. සාෆි ෂිහාබ්දීන්ගේ කීර්තිනාමයට හානි කරා කියල .ඒ විදියට තමයි අද කටයුතු සිද්ධ වෙන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා පොරොන්දු වූ ආකාරයෙන් එක රටක් එක නීතියක් යන වචනය අර්ථ පරිසමාප්තයෙන්ම ක්‍රියාත්මක කරලා ඔබතුමා වගේම මේ රජය අපහසුතාවයට පත් කිරීමට මාන බලාගෙන සිටින නිලධාරීන්ගෙන් මේ රට බේරගන්න කියලා. එසේ නොකළොත් මේ රටේ ජනතාවට තේරුම් යන දෙයක් තමයි ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන මේ අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කරනවා කියන එක. ඒ අපවාදය බලෙන් ඔබතුමාගේ හිස මත පටවා ගන්න එපා කියලා මේ රටේ මහා සංඝරත්නය වශයෙන් අපි ඉල්ලා සිටිනවා. මේ රටට වින කරන නිලධරීන් අල්ලා බැදලා දාන්න කියල අපි ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා." යැයිද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

(මහනුවර     කේ .එල්. සුරවීර)                                                 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 December 2021 16:33