April 24, 2024

ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම් කියයි

December 16, 2021

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

“ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඊයේ (15) පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව අවධාරණය කළ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු අනියත බියක් ඇතිකරගත යුතු නැති බව පැවසුවා. රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ අද එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බව ද කමල් ගුණරත්න මහතා සඳහන් කළා.

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමග උඩුයටිකුරු වුණා. පසුගිය පාලන සමයේ එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.

මිල්ටරීකරණයකට රට ගෙන යනවාද යන්න පිළිබඳ වූ පැනයට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිල්ටරීකරණයක් නොවන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේ දැයි විමසා සිටියා.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගැනීම ද ත්‍රිවිධ හමුදාවේ වගකීමක්. යුද, නාවික සහ ගුවන් හමුදාව ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නා.

පසුගිය වසර දෙක තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරය පැහැදිලි කළ යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශක්තිය රටේ සංවර්ධනය වෙනුවෙන් උපරිමයෙන් දායක කිරීමට කැපවී කටයුතු කළ බවයි.

ඒ අතරම කොවිඩ් මර්දන ක්‍රියාන්විතයට ද ශ්‍රී ලංකා යුද හමුදාව පුළුල් දායකත්වයක් සපයා තිබේ. ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන මෙන්ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළේ දී යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීමෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතරම ජනතා අවශ්‍යතා අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය ද නොඅඩුව සිදුකළ බව ඒ මහතා පැවසුවා.

නාවික හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බවයි.

පසුගිය වසර දෙක තුළ පමණක් රුපියල් බිලියන 35කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ජාතියේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස එය රටත්, තරුණ පරපුරේ අනාගතයත්  වෙනුවෙන් කළ විශාල සේවයක් බව ඒ මහතා පෙන්වා දුන්නා.

ඒ අතරම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටියි. ජනතා සුබසාධනය වෙනුවෙන් ද කැපවී සිටින අතර ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා තිබෙනවා. වෙරළාරක්ෂිත පරිසර කලාපයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙන්ම කඩොලාන ශාක වගාව සිදු කරමින් කඩොලාන රැක ගැනීම වෙනුවෙන් ද ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන බවයි කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

කොවිඩ් 19 මර්දනය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ද සක්‍රීයව දායකවී සිටින බව ඒ මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ද අදහස් දැක්වීය. කොවිඩ් 19 පැතිර යාමත් සමග විෂබීජහරණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැපවූ අතර “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ශ්‍රී ලංකාවේ වන වගාව ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂිත කලාප සඳහා ගුවනින් බීජ හෙළීම ඇතුලු පරිසර සංරක්ෂණ ව්‍යාපෘති සේම නගරබද රථ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සක්‍රීයව දායක වෙමින් සිටින බව ඒ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 20:37