April 19, 2024

උප්පැන්න වෙනස් කරන්න රජයෙන් තීන්දුවක්! සියලු ලාංකිකයන්ට හිමිවන දේ

December 07, 2021

උප්පැන්න සහතිකය නිකුත් කරන විට ඊට තවත් වෙනසක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර තිබෙනවා.

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති 2019 අංක 1 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග යටතේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු සඳහාම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත් කිරීම සඳහා ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බලය ලබා දී තිබෙනවා.

එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මඟින් උපතේ සිට මරණය දක්වා සිදු කරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබා ගැනීමේදී එම කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇත.

ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමටත්, එකී අංකය ඇතුළත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලයාගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Rate this item
(0 votes)