March 29, 2024

කොවිඩ් ආසාදිතයන්ට "මොල්නුපිරවීර්" කැප්සුලය - මෙරටට ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

November 27, 2021

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඊයේ (26) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීමට තීරණය තිබෙනවා.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය.

ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.

කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දී තිබෙනවා.

කොවිඩ් අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවධානම පාලනය සහ ජනතාව දැනුවත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 08:44

Related items