April 25, 2024

දුම්වැටි ගැනත් රජය තීන්දුවක් ගනී! කැබිනට් පත්‍රිකාව සූදානම්

September 30, 2021

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබුණා. එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ සඳහා එක්ව සිටියා.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතයද අවම කිරීමට හැකිවනු ඇත. මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳවද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමටද පියවර ගැනේ.

ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථාන වල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙහිදී  භාරදී තිබෙනවා. මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා විය.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

Rate this item
(0 votes)