April 25, 2024

වෛද්‍ය අසේලගේ තනතුර කොට උඩ! මීළඟ සෞඛ්‍ය සේවා ලොක්කාත් තීන්දුයි!

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරු කිහිපයක වෙනස්කම් සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.

පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊට අමතරව ප්‍රධාන රෝහල් කිහිපයක අධ්‍යක්ෂ ධූරවල ද වෙනසක් කිරීමට නියමිත බව යි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් ද මෙලෙස මාරු කිරීමට නියමිත බව පැවසෙනවා.

මීට හේතු වී ඇත්තේ කොවිඩ් මර්ධන කටයුතු සඳහා මෙම නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වයක් නොලැබීම බව සඳහන්.

මෙහි දී කොවිඩ් මර්ධන කටයුතු සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතාගේ දායකත්වය ද ප්‍රමාණවත් නොමැති බවට මතයක් ගොඩනැගී ඇති බවත් එම නිසා ඔහු ද එම ධූරයෙන් ඉවත් කොට වෙනත් අයෙකු එහි ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇති බව යි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිළි කිරීමක් ද සිදු කොට ඇති බවට යි.

මෙම තත්ත්වය යටතේ වෛද්‍ය අසේල ගුණරත්න මහතා එම ධූරයෙන් ඉවත් කොට ඔහු හට වෙනත් තනතුරක් ලබා දීමට සූදානමක් ඇති බව පැවසෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට සැළසුම් කොට ඇති බවට යි.

අමල් හර්ෂ ද සිල්වා මහතා කලක් කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර, එපමණක් නොව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළා.

පසුව ඔහු සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කළ අතර මේවන විට එම තනතුරෙහි රාජකාරී කරමින් සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 20 August 2021 17:29