April 19, 2024

කප්පම් නෙමෙයි ගන්නෙ වැසිකිලි ව්‍යාපෘතියකට ආධාර - චෝදනාව භාරගත් ඇමතිගෙන් පිළිතුරු

ආණමඩුව ආසනයේ කප්පම් දේශපාලනයක් සිදුවන බවට ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා කළ හෙළිදරව්වේ වගකීම තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් භාරගෙන තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතායි.

කප්පම් චෝදනාව බොරු

ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා එල්ල කරන කප්පම් චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය කප්පම් ගැනීමක් නොව වැසිකිලි 437ක ප්‍රශ්නයක් බවයි.

ආණමඩුව ආසනයේ මහකුඹුක්වළල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැසිකිලි පහසුකම් නොමැති පවුල් 437ක් සිටින බව පෙන්වා දෙන සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා එම පිරිස වෙනුවෙන් වැසිකිලි ඉදිකිරීම සඳහා බොරලු ව්‍යාපාරිකයින්ගෙන් ආධාර ඉල්ලීමේ සිද්ධියක් විකෘති කොට එය කප්පම් සිද්ධියක් සේ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන බවටයි චෝදනා කරන්නේ.

තමාටද එම පිරිස වෙනුවෙන් වැසිකිලි ඉදි කර දීමේ වගකීමක් තිබෙන බව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් ආණමඩුව ආසනයේ පොදුජන පෙරමුණ කැඳවුම්කරු බවද හෙළිදරව් කරමින්.

ප්‍රියංකරගේ මිනිහෙකුටත් රිදිලා

ප්‍රියංකර ජයරත්න මහතාගේ ළඟම ආධාරකරුවකු වන "දෙවෙනි මල්ලි" නොහොත් ජානක සම්පත් යන ව්‍යාපාරිකයෙකුටද බොරලු ප්‍රශ්නය මත යම් හිත් රිදීමක් සිදුව තිබීමද මෙම කප්පම් චෝදනාව පිටුපස තිබෙන බවයි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කරන්නේ ආනමඩුවේ බොරලු ටිපර්කින් රු. 500 ක කප්පමක් ගන්නා ඇමතිවරුන් පුත්තලම් දිස්ත්‍රික්කයේ බිහිවී ඇති බවට එම දිස්ත්‍රික්කම නියෝජනය කරන ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා උත්සවයකදී කළ චෝදනාවට පිළිතුරු දෙමින්.

ඔක්සිජන් ඇමති

මීට ටික කලකට පෙර ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සමඟ ඔක්සිජන් ප්‍රශ්නයක් මුල් කොටගෙන සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ගැටුමකට මැදි වූ අතර ඊට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබුණා.

ඔක්සිජන් නැතුව ජීවත් විය හැකි ප්‍රාණියකු ලෙස සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ඒ අවධියේ බොහෝ පිරිස් විසින් හඳුන්වනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 07:40

Related items