April 19, 2024

විග්නේශ්වරන්ගේ කතාවට ෆොන්සේකාත් එරෙහි වෙයි

ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කිරීම ගරු පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමක් ලෙස සලකන බව සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අතුරු සම්මත ගිණුමේ විවාදයේ දෙවන දිනය වන අද (28) දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

“එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාවය කියලා. එතකොට එතුමා නොකියා කියන්නේ සිංහල ජනතාව පස්සේ මේ රටට ආපු ජනතාවක් කියලා. මම එතුමට මතක් කරදෙන්න කැමතියි මේ රටේ සිංහල ජනතාව අවතක්සේරු කරලා සිංහලයට සිංහලයට මේරටේ තියෙන තැන නැති කරන්න හදන කිසි කෙනෙකුට මේ රටේ පැවැත්මක් නෑ කියන එක. විග්නේෂ්වරන් මන්ත්‍රීතුමනි, ඔබ මතක තියා ගන්න, අතීතයෙත් මිනිස්සු හිටියා මේ රටේ සිංහල ජනතාවට ඇති තැන හෑල්ලුවට ලක්කරන්න උත්සහ ගත්ත. අපිට මතකයි අමිර්තලිංගම් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසානයේදී අත් වෙච්ච ඉරණම. ප්‍රභාකරනුත් හිතුවා එයාට පුළුවන් කියලා මේ රට කඩන්න. එයාට වෙච්ච දේත් අන්තිමේදි දැක්කා. අවාසනාවට විග්නේෂ්වරන් මහත්තයා ගොඩක් වයසයි. ඒ නිසා එයාට ප්‍රභාකරන් කෙනෙක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා විග්නේෂ්වරන් මැතිතුමණි, ඔබට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. සිංහල ජාතිය පහත් කරන්න උත්සහ කරන්න එපා. ඔබ එසේ කිරීමට උත්සහ කරොත් ඔබට ඉතාමත් කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි. ” යැයි ඒ මහතා ප්‍රකාශ කරන ලදි.

Rate this item
(0 votes)