April 19, 2024

අය වැයට පෙර දැක්මක්

November 29, 2021

ආණ්ඩුව මෙම අය වැය ලේඛන ඉදිරිපත් කරන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් මුහුණ නොදුන් අභියෝගාත්මක වාතාවරණයක් යටතේ වන බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

ඒ අනුව රජයේ 2022 වර්ෂය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 2505 වශයෙන් පුරෝකථනය කර ඇති අතර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වීම විශේෂත්වයකි. එය බිලියන රුපියල් බිලියන 373.1කි. සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන153.5 ද අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 127.5ක් ද වෙන් කර තිබේ. ඒ අතරම අතරම මහමාර්ග අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 250.2 කි. ගණන් බලා ඇති ආකාරයට අයවැය පරතරය සියයට එක් 11.2 දක්වා ඉහළ අගයක් ගන්නා බව පෙනේ. ඇස්මේන්තු ගත රාජ්‍ය ආදායම ආදායම රුපියල් ට්‍රිලියන 2.43 ක් වන අතර 2021 වර්ෂයේ දී එය රුපියල් ට්‍රිලියන 2.01 එකක් වූ අතර එය ට්‍රිලියන 0.46 ක වැඩිවීම ක් පෙන්නුම් කරයි.

අය වැය ඉදිරිපත් කළ මෙම අවස්ථාව අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රධාන කාරණා කිහිපයක් මුල් කොටගෙන එනම් ඉතා සීඝ්‍රයෙන් විදේශ සංචිත පහළ යාම, විනිමය අනුපාත මත වන පීඩනය නිසා දිගින් දිගටම රුපියල අවප්‍රමාණ වීම, දිගින් දිගටම ඉහළ යන උද්ධමනය, රාජ්‍ය ආදායම් පහළ යාම හා රාජ්‍ය වියදම් ඉහළ යාම වැනි ප්‍රධාන කාරණා කිහිපයකි.

විදේශ සංචිත පහළ යාම

2019 වර්ෂය වනවිට ඇ.ඩො. බිලියන 07 ඉක්මවා පැවති විදේශ සංචිතයන් මේ වනවිට ඉතාමත් පහළ අගයක් ගෙන ඇති අතර එය මේ වනවිට ඍණ මට්ටම දක්වා අඩු වී තිබේ. විදේශ සංචිත වැඩි කරගැනීමේ අභියෝගයට රජය මේ වනවිට මුහුණ දෙමින් සිටී. ශ්‍රේණි ගත කිරීම් සිදුකරන ආයතන ශ්‍රේණි ගත මට්ටම් තවදුරටත් පහළ දමා ඇති වාතාවරණයක ලංකාවේ බැඳුම්කර නිකුතු තවදුරටත් ආකර්ෂණය නොවන වකවානුව ද විදේශ බැංකු ක්‍රමය මගින් ණය ලබාගැනීමේ ගැටළු මතු වී තිබේ. මෙහි දී සිදු වී ඇත්තේ ලංකාවට වාණිජ බැංකු මගින් ඉහළ පොලී අනුපාතයෙන් යටතේ ණය ලබා ගැනීමට සිදුවීමයි. රජයේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෑතකදී මුදල් අමාත්‍යංශය ණය දෙන ආයතන වලින් කරන ලද කැඳවීම් තුළින් එම ආයතන ලබා දෙන ද යෝජනා වල බොහොමයක් පොලී අනුපාතිකයන් සියයට 8 ඉක්මවා පවතින බවයි.ඉහළ පොලී අනුපාතයන් යටතේ එය ලබාගැනීම ඉදිරියේදී ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කරන බව පෙනේ. තවද තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම පහසුකම් ලබාගෙන ආර්ථිකය නැවත ගොඩනැගිය යුතු බවයි.

රජයේ සමහර පාර්ශ්වයන්ගේ පුරසාරම් පසෙක දමා මේ අවස්ථාවේ දී හොඳම විකල්පය වෙත ගමන් කළ යුතු බව දක්නට ලැබේ.කෙසේ හෝ බැඳුම්කර මත තවදුරටත් යැපෙනවාට වඩා ලංකාව තුළ ආයෝජන අවස්ථාවන් පුළුල් කරමින් විදේශ ආයෝජන ආර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළකට ඉතා ඉක්මනින් ගමන් කළ යුතු බව සඳහන් කළ යුතුය. පෝට් සිටි ව්‍යාපෘතිය තුළින් මෙන්ම දැනට ආයෝජන අවස්ථාවන් ඇති හම්බන්තොට වරාය ආශ්‍රිත ආයෝජන ප්‍රවර්ධන කලාප වැඩසටහන ඇතුළු සංචාරක කර්මාන්තය පාදක කරගත් ආයෝජන ව්‍යාපෘතින් සඳහා අවධානය යොමුකිරීම මේ අවස්ථාවේ දී ඉතා වැදගත් වේ. කෙටිකාලීන වශයෙන් විදේශ ආයෝජනයන් ආකර්ෂණය කර ගත හැකි ව්‍යාපෘතීන් පෙළගැස්වීම හා ඒවා විදේශ වල ආයෝජන සමාගම් සඳහා ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය.

විනිමය අනුපාතික වල ස්ථාවරභාවය

විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වාගෙන යාම අද වන විට ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්ව පවතී. අද වන විට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 10 කට වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ. එසේම රුපියලේ අගය බ්‍රිතාන්‍ය පවුම ට සාපේක්ෂව සියයට 11.4 කින් ද ඉන්දියානු රුපියල ට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 10.3 කින්ද අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන වශයෙන් අපනයනය ආදායම් ඉහළ නැංවීම සඳහා සැලැස්මක් සකස් කළ යුතුය. දැනටමත් බිඳී වැටි ඇති අපනයන ආදායම් ඉහළ යමින් පවතින බව දක්නට ලැබේ. පසුගිය මාස කීපය තුළ රට නැවත වතාවක් විවෘත කිරීම මගින් අපනයන ආදායම් ඇමරිකන් ඩොලර් බිලියන ඉක්මවා ලැබෙමින් පවතී. නමුත් මහ බැංකුව දැනටමත් හඳුනාගෙන ඇති පරිදි සැබෑ ලෙස අපනයන ආදායම රට තුළට නොපැමිණීමේ ගැටලුව සඳහා ඉතා කඩිනමින් විසඳුමක් සෙවිය යුතුය. අපනයනකරුවන්ට රජය විධාන නිකුත් කරනවට වඩා ඔවුන් සමග සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මේ අවස්ථාවේදී ඉතාම වැදගත් වේ.

සාම්ප්‍රදායික තේ පොල් රබර් ඇඟලුම් අපනයන වලින් බැහැරව විදේශ විනිමය ශක්තිමත් කළ හැකි අපනයන අංශයේ සොයා ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී අප තවම මෘදුකාංග නිෂ්පාදනය හා සේවා සැපයීම යන අංශයන්ගෙන් ආදායම් ඉපදවීම ඇමරිකන් ඩොලර් බිලියන දෙක ඉක්මවා ආදායම් වැඩි කර ගැනීමට නොහැකි වී තිබේ. අය වැය තුළින් මේ අංශයන් පුළුල් ලෙස සැලකිල්ලට ගත් යුතුය. අනෙක් අතට මැණික් හා ස්වර්ණාභරණ සාම්ප්‍රදායික භාණ්ඩ නිෂ්පාදන වලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නැංවීමේ ඉලක්කගත වැඩසටහන් එම අමාත්‍යංශයන්ට අය-වැය තුළින් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයකි. මහා මාර්ග සඳහා බිලියන ගණනක මුදල් වෙන් කරනවා සේම අපනයන ඉපැයීම් ඉහළ නැංවීය හැකි ක්ෂේත්‍රයන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් සිදුකළ යුතුය.

දේශීය හා විදේශ ණය කළ කළමනාකරණය කිරීම

පසුගිය කාලය තුළ දී බලයට පැමිණි රජයන් දිගින් දිගටම දේශීය හා විදේශීය අංශයන්ගෙන් ණය ලබා ගැනීම හේතුවෙන් රජය මේ වනවිට විශාල ණය අර්බුදයක පැටලී ඇති බව පෙනේ. රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 16 ඉක්මවා පවති. පසුගියදා ණය ශ්‍රේණිගත සිදු කරන ආයතන ලංකාව තවදුරටත් ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළට ඇද දමා තිබේ. පැහැදිලිවම මෙය ණය ශේණිගත කිරීමේ සිදු කරන ආයතන වල තුළ මාෆියාවක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. අනෙක් අතට මෙම ණය ශේණිගත කිරීම සිදු කරන ආයතන ණය දෙන ආයතන කුස හා ආයතන වල කොන්ත්‍රාත්තුවක් සිදුකරන්නේද යන්න සැකය මතුවී තිබේ.

ණය ශ්‍රේණිගත පහළ දැමීම තුළින් ණය දෙන ආයතන පොලි අනුපාතිකයන් ඉහළ දැමීම් මගින් කුඩා රටවල් තවදුරටත් පීඩනයට ලක් කර තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර ස්වෛරී ණය තොග යන් පහළ දමා ගැනීම, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආයෝජක පදනම විවිධාංගකරණය කිරීම, සංවර්ධන බැඳුම්කර සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම වැනි යොදා මේ අවස්ථාවේදී ඉතා වැදගත් වේ. ලබා ගන්නා විදේශ ණය ආදායම් වැඩි කර ගත හැකි විදේශ විනිමය ඉපදවිය හැකි පලදායි සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා යෙදවීම සිදු කළ යුතුය.( නෙළුම් කුළුණ ,සම්මන්ත්‍රණ ශාලා වැනි ව්‍යාපෘතීන් නොවන). සංවර්ධන බැඳුම්කර සඳහා මැදපෙරදිග කලාපය තුළ පුළුල් ජාත්‍යන්තර අලෙවිකරණ ව්‍යාපෘතියකටක් තානාපති කාර්යාල හරහා සිදුකළ යුතුය. මැදපෙරදිග කලාපය තුළ විශාල වශයෙන් ඩොලර් සංචිත පවතින අතර බොහොමයක් එම සංචිතය ඔවුන් ආයෝජනය කර ඇත්තේ ඇමරිකාව යුරෝපා කලාපයේ රටවල ය. මෙම සංචිතයෙන් සංවර්ධන බැඳුම්කර සඳහා ආකර්ෂණය කර ගැනීම ඉතා වැදගත් වේ.

සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම

රජයට ලැබිය යුතු ආදායම් අහිමි වී ඇත්තේ රට තුළ පවතින බදු ක්‍රමයන් වල පවතින දුර්වලතාවයන් නිසාවෙනි.මෙම පවතින දුර්වලතාවයන් විටින් විට පෙන්වා දුන්නද ඒවා තවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. ආදායම් බදු ව්‍යුහයන් පුළුල් කිරීම, සෘජු හා වක්‍ර බදු ව්‍යුහයන් වල පවතින දුර්වලතා හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීම, බඳු ව්‍යුහයන් තවදුරටත් සරල කිරීම, බදු රැස් කිරීම සඳහා නවීන තාක්ෂණය එක් කර ගැනීම වැනි අත්‍යවශ්‍ය කාරණා සඳහා සැලකිල්ල දැක්විය යුතුය. යම්කිසි පුද්ගලයකුගේ ආදායම් බැංකු ගිණුම්ට බැර වීමේදී ණය automatically කපා හැරීම සිදු වන ආකාරයට ඒ ඒ පුද්ගලයන්ගේ ආදායම් බැංකු ගිණුමට බැරි වීමේ දී බදු ආදායම් automatically ස්වයංක්‍රියව කපා ගැනීම සඳහා ක්‍රමවේදයක් සඳහා යා හැකිය. අය-වැය තුළින් රාජ්‍ය මූල්‍ය හිඟය කිරීම තුළින් ස්ථායිතාවය ට රුකුලක් වනු ඇත. ඒ සඳහා රජයේ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම ඉතා වැදගත් සාධකයකි අමාත්‍යවරයාගේ සිට රාජායතන ප්‍රදානය දක්වා වගකීම් පැවරීම සිදුකළ යුතුය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා ව්‍යාපාර පරිසරය තව තවදුරටත් වැඩි දියුණු කළ යුතුය.

ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ කටයුතු, ආයෝජන මණ්ඩලය කටයුතු තවදුරටත් නවීකරණය කිරීම හා පරිපාලන කටයුතු සරළ ක්‍රමවේදයන් ඔස්සේ පවත්වා ගැනීමට ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතුය. අනෙක් අතට දිගින් දිගටම මුදල් අච්චු ගැසීම මගින් ඉදිරියේදී උද්ධමනය 6% සිට 8 දක්වා ඉහළ යන බව පෙනේ. ඉහළ යන උද්ධමනය පාලනය ට පිළියම් යෙදීම පොලී අනුපාතිකයන් ස්ථායිව පවත්වාගෙන යාම වාණිජ බැංකු පද්ධතියන් ඒකරාශී කිරීමේ වැඩ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත් මෙම අයවැය අභියෝගාත්මක අයවැය කි. මෙම කොවිඩ් ව්‍යසනය නිසා ගොඩනැඟුණ සෞඛ්‍යය, ආර්ථික, සංස්කෘතික අර්බුදයන්ට මුහුණ දෙනවා සේම රජය අනවශ්‍ය ආකාරයෙන් ගොඩනඟා ගත් විවිධ අර්බුදයන්ට මුහුණ දීමට ඉදිරියේ දී රජයට සිදුවනවා ඇත. ඉදිරියේදී එකත්පසෙකින් පොහොර අර්බුදය නිසා ගොඩ ගොඩනැගෙන ආහාර හිඟයට මුහුණ දෙන ක්‍රමවේදයක් සැකසීම නුවණට හුරුය. ඉහළ ගොස් ඇති විරැකියාව සඳහා රජයට පිළියම් යෙදීමට සිදු වනු ඇත. තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථාවන් ලබා ගැනීම සඳහා රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ඉතා වැදගත් වේ. ඒ තුළින් විරැකියාවට පිළියමක් වන්නාසේම විදේශ විනිමය අර්බුදයටට දීර්ඝකාලීන පිළියමක් වනු ඇත. නිපුනණතාවය ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යොමු කිරීම තුළින් ඉහළ ආදායමක් ලබාගත හැකිය. විවිධ කාරණා හේතුකොට රජය මේ අවස්ථාවේදී ජනතාව තුළ අප්‍රසාදයට පත් වී තිබේ. එය ලංකාවට පමණක් සීමා වූ කාර්ණයක් නොවන බව පැහැදිලි කරුණකි. සෞඛ්‍යමය හා ආර්ථික කරුණු සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල පීඩනයක් ගොඩනැගී ඇත. මෙම අය-වැය තුළින් ජනතාව අපේක්ෂා කරන්නේ ජීවන වියදම සඳහා සහනයකි. අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාවය දක්වනවා සේම ජනතාවගේ ඇඟට දැනෙන ගැටළු සඳහා ද පිළියම් යෙදීම වගකිවයුතු රජයක යුතුකම කි.

චිත්‍රාල් ජයවර්ණ
ආර්ථික විශ්ලේෂක/ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 13:59