April 24, 2024

මෙරට කොරෝනා රෝගීන් ගැන විස්තර කියන්න කෘතිම බුද්ධියක් සහිත වෙබ් අඩවියක්

කොවිඩ් මරණ සහ රෝගීන් වාර්තා වීමට අදාළ දත්ත විශ්ලේෂණය මගින් ඉදිරි දින 10 ක කාලයේදී වාර්තා විය හැකි රෝගීන් සහ මරණ සම්බන්ධව සංඛ්‍යා ලේඛණ කෘතීම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence Technology) උපයෝගි කර ගනිමින් නිවැරදිව දැක්විය හැකි වෙඩ් අඩවියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් නිර්මාණය කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය A 14 COVID ලෙස හඳුන්වා දී තිබෙන අතර https://covid.eng.pdn.ac.lk  දිගුව ඔස්සේ එයට ප්‍රවිශ්ඨ වීමට පුළුවන්.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂන වැලිගම්පොළ හා උමාර් මරික්කාර් විසින් මෙය නිර්මානය කර තිබෙන අතර ඉංජිනේරු පීඨයේ මහචාර්ය ජනක ඒකනායක මහතාගේ උපදේශකත්වය යටතේ මහචාර්ය විජිත හේරත්,ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියද්ද,අචාර්ය පරාක්‍රම ඒකනායක යන මහත්වරු විසින් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබ තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් රෝගීන් හා මරණ වාර්තා වීමට බලපාන හේතු කාරනා අතීත තොරතුරුද සමඟ ගලපා ගනිමින් අදාළ අනාවැකි ඉදිරිපත් කිරීම සිදු කරන බවත් කෘතීම බුද්ධි තාක්ෂණ ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ පුහුණුව සහ දැනුම ඇති පුද්ගලයෙකු මෙන් අදාළ පද්ධතිය ක්‍රියාත්මක වීම බවත්  ආචාර්ය රොෂාන් ගොඩලියද්ද මහතා පවසා සිටියා.

බොහෝ අවස්ථාවල මේ ආකාර පුරෝකතන සිදු කරනු ලබන්නේ එක් රටක අතීත දත්ත පමණක් ලබා ගැනීම මගින් වුවත් කොවිඩ් යනු ලංකාවට පමණක් සීමා වූ කාරනයක් නොවන නිසා විවිධ රටවල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම කෘතීම බුද්ධි තාක්ෂණ පද්ධතිය ගොඩ නගා තිබෙන බවත් ඒ මහතා පැවසුවා.

ඩෙල්ටා ප්‍රභේදය මෙරට ක්‍රියාත්මක නොවන අවස්ථාවේදී එය පැතිරෙමින් තිබූ රට වල දත්ත සැලකිල්ලට ගෙන එම අවස්ථාවේ අදාළ රට වල පැවැති තතත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම බුද්ධි තාක්ෂණ පද්ධතිය ගොඩ නැගීම නිසා අපේ රටට ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමෙන් පසු වාර්තා වූ රෝගීන් සහ මරණ සම්බන්ධව සැබෑ අගයන්ට ඉතා ආසන්න දත්ත ලබා දීමට හැකිවූ බවද හෙතෙම ප්‍රකාශ කළා.

 ශ්‍රී ලංකාවට අමතරව ඉතාලිය ජපානය සහ ඇමරිකාවේ ටෙක්සාස් ජනපදය සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්ත මෙම වෙබ් අඩවිය පුනරාකතන ක්‍රියාවලියට යොදා ගෙන තිබෙනවා.

මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් දත්ත උපයෝගි කර ගනිමින් මෙරට ඉදිරි සමාජ, ආර්ථික, අධ්‍යාන ක්‍රියාවලිය සකස් කළ හැකි බවද හෙතෙම පැවසුවා.

මාස දෙක තුනකින් ඔබ්බට සිදුවිය හැකි තත්ත්වයන් සම්බන්ධව පුරෝකතන ඉදිරිපත් කිරිම සාමාන්‍ය ක්‍රියාවලිය වුවත් මෙහිදී දින 10 ක් වැනි කෙටි කාල පරාසයක් සඳහා අනාවැකි ඉදිරිපත් කිරිමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවත් ඒ ඔස්සේ ඉක්මනින් තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ගොඩලියද්ද මහතා පවසා සිටියා.

මැලේසියාවේ තනාගා විශ්ව විද්‍යාලයේ සම සහයෝගිතාවද කැනඩාවේ අන්තර්ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ මූල්‍ය දායකත්වයද මීට ලැබී තිබෙනවා.

කොවිඩ් වලට අදාළව රජය ලොක් ඩවුන් කිරීම වැනි ක්‍රියාවලීන් වෙත නැඹුරු වන්නේ රෝගීන් හා මරණ වාර්තා වීමෙන් පසු බවත් පුහුණු කරන ලද කෘතීම බුද්ධි පද්ධතය මගින් රෝගීන් හා මරණ වාර්තා වීමට පෙර එවැනි තත්ත්වයන් දැන ගැනීමට හැකිවන නිසා කල්තියා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව රජයට ලැබෙන බව මහචාර්ය ජනක ඒකනායක මහතා පැවසීය.

- කේ.එල්. සුරවීර - මහනුවර

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 11:55