April 20, 2024

ඉන්දු ලංකා ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින ජේ ආර් ගේ අලුත්ම ඇමති බෑණා

- මංජුල බටුගෙදර ලියයි

ජේ.ආර්.ජයවර්ධන ලොක්කා ඉන්දු - ලංකා ගිවිසුම රජිව් ගාන්ධි සමඟ අත්සන් කළේ 1987 ජූලි 29 වැනිදා කොළඹදී.

එදා එම ගිවිසුම අත්සන් කළේ ඊට එරෙහිව මෙරට අති මහත් ජනතාවගේ විරෝධය මත ඇති වූ උද්ඝෝෂණ මර්දනය කරමින් ජනතාවගේ මලමිණී උඩින්.

රටට කළ බලහත්කාරකම

කොටින්ම ඉන්දු - ලංකා ගිවිසුම මෙරට ජනතාව වෙත ඉන්දියාව බලහත්කාරයෙන් පැටවු.ගිවිසුමක්.

එපමණක් නෙවෙයි මෙම ගිවිසුමට විරුද්ධ වූ එදා අගමැතිව සිටි ආර්.ප්‍රේමදාගේ විරෝධය නොතකායි ජේ.ආර් එම ගිවිසුම අත්සන් කළේ.

ඉන්දු ලංකා ගිවිසුම හරහා ජේ.ආර් රටට කළ දේශද්‍රෝහී ක්‍රියාව ඉවසා ගන්නට බැරිව එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි ගාමිණී ජයසූරියද සිය ඇමතිකමෙන් ඉල්ලා අස් වූ අයුරු අදටත් ජනතාව මතක් කරන්නේ ඔහුට සැබෑ දේශප්‍රේමියෙකුගේ ගෞරවය ලබා දෙමින්.

එම ගිවිසුම අත්සන් කොට මේ වන විට වසර 34ක් ගෙවී ගොස් හමාර වුවත් එම ගිවිසුම පිළිගැනීමට අදටත් මෙරට පොදු ජනතාවගේ හදවත සූදානම් නැහැ.

ඒ ඒ තරමටම මෙරට අති මහත් පොදු ජනතාව ඉන්දු ලංකා ගිවිසුම අප්‍රිය කරන නිසා.පිලිකුල් කරන නිසා.

ගිවිසුම වෙනුවෙන් පෙනී සිටීම

මෙහෙව් ජනතාව ප්‍රතික්ෂේප කළ ඉන්දු-ලංකා ගිවිසුම ගැන යළි මතක් කළේ අද දවසේ ද එම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරයකු පිළිබඳව කතා කිරීමට පෙර එම ගිවිසුම පිළිබඳව කෙටි හදින්වීමක් කිරීමටයි.

උදය ගම්මන්පිල මේ ආණ්ඩුවෙ බලශක්ති අමාත්‍යවරයා.

පසුගියදා ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට යාමත් සමග එහි තිබෙන තෙල් ටැංකි සීයේ කතාව යළි කරළියට ආවා.

ඒ එම තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සූදානම් වන බවට මතයකුත් ඇති කරමින්.

ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ ගම්මන්පිල අමාත්‍යවරයා.

එහෙත් ඔහු දුන් පිළිතුර කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පිළිතුරක්.

අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ

ගම්මන්පිල කිව්වේ ඉන්දියාවට අමුතුවෙන් දෙන්න තෙල් ටැංකියක් නැහැ තෙල් ටැංකි සීයම දැන් දීලා තියෙන බවයි.

මෙච්චර කල් මේ රටේ ජනතාව හිතන් හිටියේ ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි ඉන්දියාවට දීලා තිබෙන්නේ බද්දට කියලයි.

ජනතාව දැරූ ඒ මත සියල්ලම බොරු කරමින් ගම්මන්පිල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වල අයිතිය ඉන්දියාවට ඉන්දු ලංකා ගිවිසුමෙන් බුක්තියත් සමගම සින්නක්කරවම ලබා දී තියෙන අයුරු ප්‍රසිද්ධියේම කිව්වේ රස කර කර.

මාධ්‍ය හමු තබමින් පමණක් නොව පාර්ලිමේන්තුවේදීද ගම්මන්පිල ඒ බැව් කිව්වේ ශ්‍රී ලාංකිකයෙකුට වඩා ඔහු ඉන්දියානුවෙකු බව ගැම්මෙන්ම පෙන්නමින්.

ගම්මන්පිලගේ කතාව අමූලික බොරුවක් බව එදා එම ගිවිසුමට අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආ සමගි ජන බලවේගය , එදා එම ගිවිසුමට එරෙහිව ජීවිත පරිත්‍යාග කළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී කරුණු සහිතව තොරතුරු ඉදිරිපත් කලත් ගම්මන්පිල ඒවා පිළිගන්නට සූදානම් වූයේ නැහැ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සින්නක්කර තබා බද්දට දීමවත් මෙරට ආණ්ඩු හරි හැටි නොකර ඇති නිසා තෙල් ටැංකි බුක්ති විඳින ඉන්දීය තෙල් සමාගම (IOC) ඒ ගැන මෙරට නීතිපතිවරයාගෙන්ද විමසූ අයුරු මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් කොතරම් කීවද ගම්මන්පිල එය පිළිගැනීමට සූදානම් වූයේ නැහැ.

2010 මහින්ද රාජපක්ෂ රජයේ ඛනිජ තෙල් අමාත්‍ය අමාත්‍යවරයාව සිටී අද රාජ්‍ය ඇමතිකමක් දරණ සුසිල් ප්‍රේම් ජයන්ත්ද මාධ්‍ය අමතා කිව්වේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දියාවට දීලා නැති බවයි.ටැංකි තිබෙන භූමිය අයිති ශ්‍රී ලංකාවට බැවින් එහෙම භූමියක තියෙන ටැංකි ඉන්දියාවට දෙන්න බැරි බවත් ඔහු කිව්වා.

කඳවුරේ මතයට අභියෝග කිරීම

තමන්ගෙ කඳවුරේ සඟයෙකු මෙන්ම එම විෂය භාරව සිටි කෙනෙකු වූ සුසිල් ප්‍රේම් ජයන්ත් කියපු කතාවද පිළිගැනීමට ගම්මන්පිල සූදානම් නැහැ.

ගම්මන්පිල කියන්නෙම ඉන්දු ලංකා ගිවිසුමෙන් තෙල් ටැංකි ඉන්දියාවට දීලා හමාර බැවින් තමාගේ දැන් උත්සාහය එම තෙල් ටැංකි සියල්ලම බැරිනම් කීපයක් හෝ ශ්‍රී ලංකාවට ලබා ගැනීම බවයි.

ගොබෙල්ස්ගේ න්‍යායයෙන් කියන්නෙත් එක බොරුව සිය වතාවක් කිව්වම ඒක ඇත්ත වනවා කියලයි.දැන් ගම්මන්පිලත් හැමෝම බොරුයි කියන ඔය කතාව ඇත්ත බව සෑහෙන්න වතාවක් කියලා තියෙනවා.

ගම්මන්පිලගේ කරුමෙකටදෝ රටේ වාසනාවකටදෝ මේ බොරුව තවමත් සමාජගත කරන්න ගම්මන්පිලට බැරිවෙලා තියෙන්නේ.

මෙච්චර කල් ජේ.ආර් ගේ දේශද්‍රෝහී දේවල් වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ සුප්‍රකට බෑනා රනිල් වික්‍රමසිංහ.

එහෙත් රනිල්ටවත් ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ගම්මන්පිල වගේ පෙනී හිටින්න බැරි වුනා.

ඒ අතින් බලද්දි ගම්මන්පිල ජේ.ආර් ගේ අලුත්ම බෑනා කිව්වත් වැරැද්දක් නැහැ.

ප්‍රසිද්ධියේ පෙනී සිටීම

බොහෝ දේශපාලඥයන් එක් එක් රටවල් වෙනුවෙන් එක් එක් ලෝක බල කඳවුරු වෙනුවෙන් පෙනී සිටින්නේ රහසිගතව.

ඒත් ගම්මන්පිල එහෙම නෙමෙයි.

ඔහු ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්නේ විවෘතවම.ඉන්දු ලංකා ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින්නෙත් විවෘතවම.

ඒකට හේතුව දන්නේ ඔහු පමණයි.

ගම්මන්පිල ඉන්දියාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම පිළිබඳව ඔහුගේ රසිකයින්ට නම් කික් එකක් තිබෙන්න පුළුවන්.

ඇතැම් විට ඔවුන්ට ගම්මන්පිල වීරයෙක් වන්නත් පුළුවන්.

එහෙත් මේ රටේ අති බහුතරයක් ජනතාවට නම් ගම්මන්පිල වීරයෙක් නෙවෙයි.

ඒ වගේම මෙහෙම වැඩක් කලත් ඔහු ජනතාවට දුෂ්ටයකුත් නෙවෙයි.

ඒ ඔහු නොම්බර එකේ විකටයෙකු ලෙස මේ රටේ ජනතාව තුළ පිළිගැනීමක් තිබෙන නිසා.

සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව විකටයන් දුෂ්ටයන් ලෙස සලකන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 October 2021 14:09

Related items