July 30, 2021

ගල් අඟුරු සමඟ ගිලෙන්නට ගිය නැවක් බේරාගත්ත හැටි

මහ මුහුද සමඟ පොරබදන මිනිසුන් ඕනෑ තරම් මෙරට සිටිති.

නමුත් ඔහු පොර බදන්නේ මහ මුහුදේ ජලය සමඟ පමණක් නොවේ

ප්‍රචණ්ඩ මහ මුහුදේ අනතුරට පත් නෞකා මුහුද යට අලුත්වැඩියා කරමින් ඔහු සිදුකරන පොර බැදීම සුළු පටු කර්තව්‍යයක් නොවේ.

මේ ගාල්ලේ චතුර කුඩච්චිය.

මුහුදේ ගමන් කරමින් සිටින නැව් බේරාගැනීමේ කාර්යයට උර දී සිටින හෙතෙම ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර නැව් සමාගම් අතර ද ඒ සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.

“නැව්වලට විවිධ අනතුරු සිදුවෙනවා. ඇතැම් විට ඒවායේ ජලය යට තියෙන කොටස්වලට හානි සිදුවෙලා ඇතුළට ජලය කාන්දුවන අවස්ථාත් තියෙනවා. අපිට පසුගිය දිනක එවැනි නැවක් අලුත්වැඩියා කරන්න සිදුවුණා. ඒක ලෙහෙසි කාර්යක් නෙවෙයි. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගමන්කරමින් තිබූ MV STAR ANGIE කියන නැවේ අවරපෙති අසළින් වේගයෙන් වතුර නැව ඇතුළට කාන්දුවෙන්න පටන් අරගෙන නැව ගිලී යාමේ විශාල අවදානමක් තිබුණා. ඒ වෙලාවේ ඔවුන් උදව් ඉල්ලුවේ අපේ THE DIVERS සමාගමෙන්. මේ උදව් ඉල්ලුවේ උදේ පාන්දර 2.30ට. අපි පැය 24ම ක්‍රියාත්මක නැව් සඳහා ආපදා සේවා සපයන ආයතනයක්. එ් පණිවිඩය ලැබුණු මොහොතේ සිට අපි ක්‍රියාත්මක වුණා.”

කුඩච්චි මහතා පවසන්නේ උදව් ඉල්ලූ නැව අති විශාල නෞකාවක් බවයි.

ලෝකයේ ගල් අඟුරු ප්‍රවාහනය සඳහාම නිෂ්පාදනය කර ඇති මේ නැව මීටර 292ක් දිග වන අතර පළල මීටර 45කි. නැවේ ඇතුළත ගැඹුර මීටර 18කි.

ග්‍රීසියේ ඇතන්ස් නගරය මූලස්ථානය පිහිටි star bulk/star trident VLLC නමැති සමාගමට අයත් මෙම නැව ලයිබීරියා ධජය යටතේ සිංගප්පූරුවේ සිට ඉන්දියාවේ බටහිර දෙසට යාත්‍රා කරමින් තිබිණි. නැවේ ගමන් මාර්ගය ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී තිබුණු අතර එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 159,000ක් තිබිණි.

මෙලෙස යාත්‍රා කරමින් සිටිය දී හම්බන්තොට ආසන්න මුහුදේ දී නැවට ජලය කාන්දුවීම ආරම්භ වී තිබිණි. ඒ නැවේ අවර පෙති සවිවන ස්ථානය ආසන්නයෙන් බව ද නැවේ කපිතාන්වරයා කීවේය. කපිතාන්වරයාගේ මෙහෙයවීමෙන් ජල මෝටර යොදා නැවට කාන්දුවන ජලය ඉවත්කරමින් ඉදිරියට යාත්‍රා කළ අතර නැවේ අලුත්වැඩියා කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව ආදී ආයතනවලින් අවසර ගැනීමේ කටයුතු සිදුකිරීමට චතුර කුඩච්චි මහතා ලහි ලහියේ කටයුතු කළේය.

එදින සවස්වනවිට නැව ගාල්ල වරායට නාවික සැතපුම් 16ක් දක්වා සමීපයට පැමිණි අතර කුඩච්චි මහතාගේ උපදෙස වූයේ එම ස්ථානයේ නැංගුරම් දමා නවතින ලෙසයි. ඔහු කිමිදුම්කරුවන් ද තාක්ෂණ ශිල්පීන් ද සමඟ නැවට යාමට පිටත්වූයේය. ඔහු සමඟ නැවේ හානිය හඳුනාගැනීමේ අවශ්‍යතාව වෙනුවන් දියයට ඡායාරූප සහ වීඩියෝ කිරීම සඳහා ශිල්පීන් ද සිටියේය.

“අපි නැවට ගියා. නැවේ කාර්ය මණ්ඩලය හමුවෙලා සාකච්ඡා කරලා නැවට ජලය පැමිණෙන ප්‍රමාණය හා එය ඔවුන්ට මෝටර් යොදා ඉවත්කිරීමේ හැකියාව පිළිබඳ තක්සේරුවක් කරන්න වුණා. ලොකුම ගැටලුව වුණේ මේ ජලය පැමිණීම ක්‍රමයෙන් වැඩවන බව කපිතාන්වරයා කීම. ඒ නිසා හැකි ඉක්මණින් අපි මේ ජල කාන්දුව නැවැත්විය යුතුයි. නැතිනම් ගල් අඟුරු ටොන් 159,000ක් සමඟ නැව ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිලී මහා විනාශයක් වෙනවා. මේ ගල් අඟුරු වෙනම බාහාලුම්වල දාපුවා නොවෙයි. නැවේම  ඇති ස්ථිර ටැංකි වැනි ව්‍යුහවල දාලා තිබුණේ. ඒ නිසා නැව ගිලී ගියොත් ගල් අඟුරු සියල්ල මුහුදු ජලයට එකතු වෙනවා.”

ඔහු පවසන්නේ තම කණ්ඩායම සමඟ ජලයට බැස නැවට සිදුව ඇති හානිය පිළිබඳ සොයා බැලූ බවයි. ඔවුන් දුටුවේ නැවකට සිදුවිය හැකි බරපතල ම හානිය එයට සිදුව තිබෙන බවකි.

“ නැවේ යාත්‍රා කිරීමේ ප්‍රධානම ව්‍යුහය තමයි අවර පෙති කියන්නේ. මේ අවර පෙති නැවේ එන්ජමට සෘජුව සම්බන්ධයි. අවර පෙති කැරකිමෙන් තමයි නැවට යාත්‍රා කිරීමේ බලය ලැබෙන්නේ.‍ මේ නැවේ එක අවර පෙපත්තක් මීටර 09ක් දිගයි. මේ අවරය නැවේ එන්ජමට සවිවන ස්ථානයේ තිබෙන බෙයාරින් කැඩිලා එය එළියට පැනලා. එතැන තිබෙනව ස්ටර්න් ටියුබ් එකක් කියලා ව්‍යුහයක්. ඒකත් කැඩිලා නොනවත්වා වතුර නැව ඇතුළට යමින් තිබෙනවා. නැව ගැඹුරු මුහුදේ තිබෙන නිසා එය දිය පහරට පැද්දෙන පැද්දෙන වාරයක් පාසා මේ හානිය වැඩි වෙනවා.”

නැවේ සිටි කාර්ය මණ්ඩලය 23 දෙනෙකි. ඔවුන් නැ‍ව බේරාගැනීමේ අරමුණෙන් විශාල ප්‍රමාණයේ ජල පොම්ප 08ක් යොදා ගනිමින් නැවට එකතුවන ජලය නොනවත්වා ඉවත්කරමින් සිටියි. නමුත් ‍මේ වනවිටත් නැවේ සිටි සියල්ලෝම අධික ලෙස වෙහෙසට පත්ව සිටියහ.

සිදුව ඇති හානිය තේරුම්ගත් චතුර කුඩච්චි ඇතුළු පිරිස තම කාර්යය සැළසුම් කිරීම සඳහා එදිනම ගොඩබිමට පැමිණියහ. නැවේ කපිතාන් වරයා පින්සෙණ්ඩු වෙමින් ඉල්ලා සිටියේ හැකි ඉක්මණින් පැමිණෙන ලෙසයි.

ගොඩබිමට ආ ඔහුට විශාල වැඩ කොටසක් තිබිණි. නැවේ මව් සමාගමට සියල්ල දැනුම් දුන් අතර නැව අලුත්වැඩියා කිරීමේ සැළසුම ද ප්‍රකාශ කළේය. ඊට අමතරව සිදුව ඇති හානියත් එය යළි සකස් කරන ආකාරයත් පිළිබඳ නැවේ රක්ෂණ සමාගම ද දැනුම්වත් කෙරිණි. මේ අතර නැව අයත් සමාගමේ නිලධාරීන් පිරිසක් ද කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණ චතුර කුඩච්චි මහතා සමඟ එක්වූ‍හ.

මේ අතර නැව අළුත්වැඩියාව සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීම් ද සිදුකෙරිණි.

නමුත් ඔවුන්ගේ සැළැස්ම වූයේ නැව ගාල්ලේ දී තාවකාලිකව අලුත්වැඩියා කිරීමයි. ටොන් 159,000ක් වූ ගල් අඟෞරු තොගයක් සමඟ ඉතාමත් ප්‍රචණ්ඩ මුහුදේ නැවේ ස්ථිර අලුත්වැඩියාවක් කිරීම අපහසු කාර්යයකි. නැව ගාල්ල හෝ හම්බන්තොට වාරායට ඇතුළු කිරීමට නොහැක. ඒ වරායන් දෙකෙහිම මෙතරම් විශාල නැවක් ඇතුළුකළ නොහැකි බව චතුර කුඩච්චි පවසයි. ඔවුන්ට තිබුණු එකම විසඳුම වූයේ නැව ත්‍රිකුණාමලය වරාය දක්වා රැගෙන යාමයි. නමුත් ජල කාන්දුවේ ස්වභාවය අනුව එතරම් දුරක් නැව රැගෙන යාමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵය වන්නේ නැව ගිලී යාම බව චතුර කුඩච්චි මහතා මෙන්ම නැව් සමාගම ද හොඳින් අවබෝධ කරගෙන තිබිණි.

ඒ අනුව එකම විකල්පය වූයේ නැව මහ මුහුදේ තිබිය දී ම අලුත්වැඩියාවක් කිරීමයි.

“අපි ඒ අභියෝගය භාරගත්තා. අපේ කිමිදුම්කරුවන්, පෑස්සුම්කරුවන්, වෑද්දුම්කරුවන්, කැපුම්කරුවන් සියලු දෙනා සමඟ නැවත නැවට ගිහින් දියට බැස්සා. අපිට වැඩ කරන්න වුණේ මීටර 20ක් පමණ ගැඹුරේ. අපි මේ සියල්ල වීඩියෝ පටිගත කළා. දින 03ක් තිස්සේ පැය 36ක් අපි වැඩ කළා. නැවේ බර අඩුකරලා ස්ථිර පිළියමක් යොදනකම් අපි නැවට වතුර කාන්දුවීම වැළැක්වුවා.”

පළමුවෙන් ම ඔවුහු කැඩී බිඳී ගිය කොටස් ඉවත් කළහ. එහි ප්‍රතිඵලය වූයේ නැව ඇතුළට ජලය ගලායාමේ වේගය දෙගුණ තෙගුණ වීමයි. ඉන් පසු හැකි ඉකමණින් නැවත නිසි පරිදි එම කොටස් පෑස්සුම් කර නැවේ ප්‍රොපලර් ආරක්ෂකය කපා යකඩ ටොන් 1.5ක් පමණ ඉවත්කිරීමට ද ඔවුන්ට සිදුව තිබිණි. පසුව එහි ඇති ජල මුද්‍රාව විවෘත වී ඇති ස්ථානයත් හොඳින් විවෘතකර යළි සකස් කරන ලද්දේ විශේෂිත ගම් වර්ගයක් යොදමිනි. දියයට පෑස්සුම් කිරීම ඇතුළු මේ සියලු කාර්යයන් ඉතාමත් වෙහෙසකර වූ බව චතුර කුඩච්චි මහතා කියයි.

මේ විදියට අපිට ජලය ඇතුළට යාම නවත්වාගන්න හැකි වුණා. ගැටලුවක් වුණේ අපි මේ කරපු තාවකාලික පිළියම නිසා නැවේ අවරය වැඩ කරන්නෙන් නැහැ. ඒ නිසා නැව පණගන්වා යාත්‍රා කරන්න බැහැ. නමුත් දැන් නැව ගිලීයාමේ අවදානම අවසන්. අපි මෙහි ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය දේ කරනතුරු කිමිදුම් කණ්ඩායමක් නැවේ ම නවත්වා ඔවුන්ට නිතරම මේ ස්ථානය පරීක්ෂාකරන්න උපදෙස් දීලා ගෙඩබිමට ආවා.

ඔහු සමඟ මේ වනවිට නැව් සමාගමේ නියෝජිතයන් වූ ජෝර්ජ සහ වැස්ලිස් දෙදෙනා ද එක්ව සිටියහ.

නැවේ ප්‍රවාහනය කරමින් තිබූ ගල් අඟුරු තොගයේ හිමිකරුවාට අවශ්‍ය වූයේ මේ ගල්අඟුරු තොගය කෙසේ හෝ තම ගමනාන්තය වෙත යැවීම පමණි. මේ සඳහා තිබූ එකම පිළියම වූයේ වෙනත් නැවක් ගෙන්වා මේ නැව අසළින් ම තබා නැවෙන් නැවට ගල් අඟුරු පැටවීමයි. නමුත් ගාල්ල වරාය ආසන්නයේ ඇති රළු මුහුදේ මේ කාර්යය කළ නොහැකි විය. හම්බන්තොට වරායේ ගැඹුර ද මේ සඳහා ප්‍රමාණවත් නැත. කොළඹ වරා‍ය ද එවැනි මෙහෙයුමකට සුදුසු වාරායක් නොවීය.

එකම විකල්පය වූයේ ත්‍රිකුණාමලය වරායයි. අඩි 300ක් පමණ ගැඹුරක් සහිතව ස්වභාවික බොක්කකින් නිර්මාණය වී ඇති ත්‍රිකුණාමලය වරායට මේ නැව ගෙනගොස් වෙනත් නැවක් ගෙන්වා ගල් අඟුරු ඊට පටවා ඉන්දියාව බලා පිටත් කිරීමත් හානියට පත් නැව සිංගප්පූරුවට ගෙන යාමත් සැළැස්ම වී තිබිණි.

ඒ අනුව MV STAR ANGIE නෞකාව ත්‍රිකුණාමලය වරාය දක්වා විශේෂ ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ඇදගෙන ගියේ මුහුද ආසන්න ගොඩබිමෙන් ද නැව නිරන්තරව නිරීක්ෂණය කරමිනි. මේ සඳහා දින ගණනාවක් ගත විය.

නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගිය පසු දොඹකර සහිත වෙනත් නැවකින් එහි ඇති ගල්අඟුරු පටවාගෙන ගොස් තවත් නැවකට දැමීම සිදුවිය. ඒ ආකාරයෙන් අනතුරට පත්ව තිබූ මේ දැවැන්ත නෞකාවේ ඇති ගල් අඟුරු තොගය ඉවත්කිරීමට මාසයකට අධික කාලයක් ගත වූ බව චතුර කුඩච්චි මහතා පවසයි.

මෙම ඉතා වෙහෙසකර මෙහෙයුම ක්‍රියාත්මක වන සම්පූර්ණ කාලයම ද ඩයිවර්ස් ආයතනයේ කිමිදුම් කරුවන් හා තාක්ෂණ නිලධාරීන් තමන් විසින් තාවකාලිකව සිදුකළ අළුත්වැඩියාව නිසි පරිදි පවතින්නේ ද යන්න පිළිබඳ නිරන්තරව විමසිල්ලෙන් පසුවිය.

“නැවේ ගල් අඟුරු සම්පූර්ණයෙන් ම ඉවත්කරන තුරු අපිට විශාල වගකීමක් තිබුණා. මේ ගල් අඟුරු මුහුදට නොවැටී තවත් නැවකට පැටවීම වගේම ඒ කාලයේ දී මේ නැවට නැවත හානියක් නොවීමට වගබලා ගැනීම. ඒ නිසා අපි නිතරම පරීක්ෂාවෙන් හිටියේ. ගල් අඟුරු සියල්ල ඉවත්කළාට පස්සේ අපි යළිත් වතාවවක් නැවේ තවත් අළුත්වැඩියාවක් කළා. ඒක කළෙත් මුහුදු යට දී.”

ගාල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා නැව රැගෙන ඒමේ මෙ‍හෙයුමට වඩා ඉතාමත් අසීරු කාර්යය වන්නේ ත්‍රිකුණාමලයේ සිට සිංගප්පූරුව දක්වා නැව රැගෙන යාමයි. ඒ සඳහා සුදුසු පිරිද නැව සැකසීම සිදුකරන ලද්දේ ද චතුර කුඩච්චි ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

නැව් සමාගමේ ඉංජිනේරුවෝ ද රක්ෂණ සමාගමේ නියෝජිතයෝ ද ත්‍රිකුණාමලයට පැමිණ නැව පරීක්ෂා කර  බැලූහ. චතුර කුඩච්චි කරන ලද අලුත්වැඩියාව පිළිබඳ සෑහීමකට පත්වූ ඔවුහු නැව සිංගප්පූරුව බලා රැගෙන යාමට කටයුතු කළහ.

මෙම කාර්යයේ තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් දේශීය වශයෙන් සාදා ගන්නා අමද්‍රව්‍ය සහ ශ්‍රී ලාංකිකයන් සතු දැනුම භාවිතා කිරීමයි. කුඩච්චි පවසන්නේ තමන් වෑල්ඩින් කූරක් හෝ ආනයනය කොකරන බවයි. ඔහු ජල කාන්දුව වැළැක්වූ ගම් වර්ගය පවා ඔවුන්ගේම නිෂ්පාදනයක් යැයි ඔහු කියයි.

“මේක ඉතාමත් බැරෑරුම් කාර්යයක්. මෙවැනි විශාල නැවකට දිය යට අලුත්වැඩියා කටයුතු කරීම අසීරුයි. නමුත් අපේ රටේ ඒ හැකියාවන් තිබෙන කණ්ඩායම් ඉන්නවා. ශ්‍රී ලංකාව කියන්නේ නැව් ගමනා ගමනයේ දී ඉතාමත් වැදගත් ස්ථානයක්. අපේ රට ආසන්නයෙන් ලෝකයේ වැඩිම නැව් ප්‍රමාණයක් ගමන් කරනවා. රාජ්‍ය මැදිහත්වීමෙන් මේ කර්මාන්තය අපේ රටේ වැඩිදියුණු කරනවානම්, ඒ වගේම අපි වගේ පිරිස්වලට අවශ්‍ය සහයෝගය ජාත්‍යන්තර ප්‍රචාරය ලබා‍ දෙනවානම් ඉතා විශාල විදේශ වනිමය ප්‍රමාණ්‍යක් අපිට උපයාගන්න පුළුවන් හැකියාව තිබෙනවා.”

චතුර කුඩච්චි පවසන්නේ තම සමාගමේ සේවය ලබාගැනීමට නැව් සමාගම් උත්සුක වන්නේ මීට පෙර කරන ලද එවැනි සේවාවන්හි සාර්ථකත්වයෙන් ලබා ඇති කීර්ති නාමය හේතුවෙන් බවයි. මෙම නැව අලුත්වැඩියා කිරීමෙන් ද ශ්‍රී ලංකා රජයට ද සැළකිය යුතු මුදලක් ලැබුණු බවත් මේ කර්මාන්තය වැඩිදියුණු කිරීමට හැකි ශ්‍රී ලංකාවට වැදගත් ක්ෂේත්‍රයක් බවත් ඔහු පවසයි.

චතුර කුඩච්චි මහතා මෙහි දී මෙම නැව බේරාගැනීමේ මෙහෙයුම සඳහා විශාල සහයෝගයක් ලබාදුන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වරාය ආරක්ෂක අංශ, විශේෂයෙන් ම ගාල්ල වරායේ සහ ත්‍රිකුණාමලය වරායේ හාබර් මාස්ටර් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ද ඇමෙරිකා නාවික හමුදාවට ස්තූති කිරීමට අමතක කළේ නැත.

රජයේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාව නාවික ගමනා ගමන කටයුතුවල කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි. එම කර්තව්‍යය සාර්ථ කරගැනීමේ දී මුහුදේ ගමන්කරමින් සිටින නැව් අලුත්වැඩියා කිරීමේ කාර්යය ඉටුකළ හැකි මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් උපරිම සහය ලබා දී ඒ සේවාව ලෝකය පුරාම ප්‍රචලිත කිරීම රටේ ඉදිරිගමනට වැදගත් වනු ඇත.

Rate this item
(0 votes)