April 20, 2024

රටේම කුණු දඹුල්ලට

සමස්ත ලංකාවේම ඉවතලන කුණු කසල දඹුල්ල මහා නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාව පවතින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඊයේ (14) දින පස්වරුවේ පැවසුවා.

දඹුල්ල මහ නගර සභාව මගින් වසර ගණනාවක් සිට ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිපදවන බවත් කාබනික පොහොර ඉල්ලුමේ හැටියට සපයා ගැනීමට නොහැකිව පවතින නිසා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නගරාධිපතිවරයා මේ ඉල්ලීම කළා.

මේ වන විට පළාත් පාලන ආයතන  9ක පමණ ඉවත ලන කුණු කසල දඹුල්ල මහ නගර සභාවේ කාබනික පොහොර අංගනයට ලැබෙන බවද විශාල කාබනික පොහොර ඉල්ලුමක්‌ පැවතීම හේතුවෙන් තමන්ට ඉල්ලුමට සැපයුම් ලබා දීමට තරම් කුණු කසල  නොලැබීම බරපතළ ප්‍රශ්නයක් බවද පෙන්වා දෙයි.

එම නිසා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කුණු කසළ තම අංගනයට ගෙන්විත් භාර දෙන්නේ නම් ඒ සියල්ල බාර ගැනීමට සූදානමින් සිටින බවත් කුණු ප්‍රශ්න වලින්  හෙම්බත්ව සිටින සිටින, එයට විසඳුමක් නැති නගර සභා. මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට තමන් කසල ගෙනත් දෙන්නැයි ආරාධනා කරන බව සඳහන් කළා.

මේ වන විට දඹුල්ල නගර සභාව දිගම්පතහ ප්‍රදේශයේ කාබනික පොහොර නිපදවන ස්ථානය ඉතා අලංකාරව කඩිනමින් පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වන බවද නගරාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජපන් තාක්ෂණය ඔස්සේ යන්ත්‍රානුසාරයෙන් සිදු කරන පොහොර නිෂ්පාදනය වසර ගණනාවක් තිස්සේ ඉතා සාර්ථකව දඹුල්ල මහ නගර සභාව මගින් සිදු කර ගෙන එන බවත් ඉදිරියේදී ඕනෑ තරම් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල තම මහ නගර සභාව සතුව පවතින බවත් ඒ මහතා පැවසුවා.

දඹුල්ල දිගම්පතහා රජයේ රක්ෂිතයේ වන අලින්ගෙන් ගහනව කුණු කසල බැහැර කරන කසල අංගනයක් බවට පත්ව තිබූ ස්ථානයේ මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් බවට පත්ව තිබෙනවා. 

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ මැදිහත්වීම මත ජපන් තාක්ෂණයෙන් යුතුව මෙම ස්ථානයේ ස්ථාපිත කොට ඇති පොහොර නිෂ්පාදනාගාරය තුලින් ප්‍රදේශයේ පමණක් නොව විවිධ පළාත්වල ගොවීන්ට කාබනික පොහොර අලෙවි කිරීම සිදු කෙරෙන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා.

මෙම ස්ථානය විශාල සේවක සේවිකාවන් පිරිසකගේ රැකියා ස්ථීරභාවය ලබා දීම මෙහි නිතර ඉවත් ලන දේ ආහාරයට ගැනීම සඳහා පැමිණෙමින් සිටින වන අලින් 25ක පමණ කණ්ඩායමට පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය වලින් තොර එළවළු සහ පළතුරු ලබා දීමද මෙම ව්‍යාපෘතිය යටතේ ම සිදු කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළා.

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 9කින් රැගෙන එන ඉවතලන ද්‍රව්‍ය මෙම ස්ථානයේ සිට කාබනික පොහොර බවට පත් කරමින් එහි ගුණාත්මකභාවය වැඩි කොට පෞද්ගලික ආයතනයක් සමග එක්ව කාබනික පොහොර නිෂ්පාදනය යුහුසුළුව සිදු කරමින් සිටින බවක් නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දිවයිනේ කසල ප්‍රශ්නයට මෙසේ විසඳුම් ලබා දීම සඳහා දඹුල්ල මහ නගර සභාවට හැකි වී තිබෙන බවත් මෙම අංගනය පුළුල් කළහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පවතින ඉවතලන කුණු කසළ ගෙනැවිත් රටේ අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම පහසුකම දැනුම දඹුල්ල මහ නගර සභාව සතුව තිබෙන බව නගරාධිපතිවරයා වැඩිදුරටත් මේ දී සඳහන් කළා.

පසුගිය කාලයේ මෙම ස්ථානය කසල සුසානයක් බවට පත්ව තිබියදී දඹුල්ල ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් මෙම පරිසර විනාසය වන සතුන් විනාශය පිළිබඳව අවධානය යොමු කොට ජනමාධ්‍ය හරහා දැඩි ප්‍රචාරයක් ලබා දීම සිදු කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජපානයේ තාක්ෂණයෙන් යුතුව මෙම කසළ අංගනය දඹුල්ලට ලබා ගැනීමට මූලික දායකත්වය ලැබුණු බව නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙහිදී සඳහන් කළා.

සංචාරක ආකර්ෂණයක් ඇති සිගිරි පිදුරංගල රන්ගිරි දඹුල්ල හා කන්දලම කදු පන්ති එකම ස්ථානයකට දර්ශනය වන මේ ස්ථානය සංචාරක ප්‍රවර්ධන ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම මේ දිනවල සිදුකරමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)



Rate this item
(0 votes)