March 29, 2024

පුද්ගලයින් 83ක් බිලිගත්ත “ මිනීමරු ඔසාමා” කොටු වුණු හැටි

අවුරුදු 75ක් පමණ වන අඩි 16 කින් යුතු දැවැන්ත කිඹුලෙකු කොටු කරගන්නට ටැන්සානියානු වනජීවි නිලධාරීන් සමත් වී තිබුණේ 2005 වසරේ දී.

ටැන්සානියාවේ ලුගන්ගා ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක් මෙම අති දැවැන්ත කිඹුලාගෙන් නිතරම පීඩාවට පත් වෙමින් තිබුණා. 1991 සිට 2005 කාලය තුළ පමණක් එම කුඩා ගම්මානයේ ජීවත් වූ පිරිසගෙන් 1/10ක් මෙම කිඹුලාට ගොදුරුව තිබුණු බව සඳහන් වෙනවා.

මෙම කිඹුලාගේ කෲර බව නිසාම ගම්වැසියන් ඇතුළු ටැන්සානියානුවන් විසින් මෙම කිඹුලාව “ඔසාමා” ලෙස හඳුන්වන්න පෙළෙඹී තිබෙනවා, ඒ 9/11 ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදී නායක ඔසාමා බින් ලාඩන් වැනි කෲර ගති මෙම සත්ත්වයාටත් තිබුණු බව පවසමින්.

වසර ගණනාවක් තිස්සේ මෙම කිඹුලා අල්ලා ගැනීමට වන ජීවි නිලධාරීන් උත්සාහ කළ අතර අවසානයේ එය සාර්ථක කරගන්නට ඔවුනට හැකියාව ලැබී තිබුණා. ඒ අනුව ඔසාමාව අල්ලාගෙන අප්‍රිකානු කලාපයේ විශාලතම විලක් වන වික්ටෝරියා විලට ගෙන ගොස් දමන්නට ඔවුන් කටයුතු කර තිබුණා.

“මිනීමරු ඔසාමා” හා බැඳි අපුරු කතා

ඔසාමා විසින් තම දඩයම් බිම කරගෙන සිටි ලුගන්ගා ප්‍රදේශයේ ජනතාව විසින් මෙම ඔසාමා සම්බන්ධව විවිධ මතවාදයන් නිර්මාණය කරගෙන තිබුණා.

ඒවා අතරට ඔසාමා යනු අමරණීය සත්ත්වයෙක් බවත් ඔසාමා විනාශ කළ නොහැකි බවත් ඔවුන් විශ්වාස කර තිබුණා. එමෙන්ම ඔසාමා යනු යක්ෂා බවත් කිඹුලෙකු විලසින් යක්ෂයා පෙනී සිටිමින් මිනිස්සු බිලිගන්නා බවත් ඔවුන් විශ්වාස කර තිබුණා.

එමෙන්ම මෙම කුඩා ගම්මානයේ ජීවත් වූ පුද්ගලයින් 83ක් පමණ මෙම කිඹුලා විසින් බිලිගෙන තිබුණු අතර එම මිනිස්සු දිව්‍ය ලෝකයට ගොස් ඇති බවත් ගම්මුන් විශ්වාස කර තිබුණා.

දිවි ගලවා ගත්ත කෙනෙකු කියන කතාවක්

ඔසාමාට හසු වුණු කෙනෙකු දිවි ගලවා ගන්නට තිබෙන අවස්ථාව ඉතාමත් අඩුයි. එලෙසෙ දිවි ගලවා ගත් පුද්ගලයින් ද සිටින්නේ එක් කෙනෙකු පමණයි.

ඔහු නමින් පෝල් කියෙව්ලියංගා,තමන්ගේ මතකය අවදි කරමින් ඔශු පවසා තිබුණේ මෙවන් කතාවක්,

 “මමත් මගේ සහෝදරයාත් මසුන් ඇල්ලීමට ගිහින් සිටියා. සහෝදරයා ඉස්සරහ මාළු අල්ලනකොට මං බෝට්ටුව පැදගෙන හිටියේ. එක්වරම ඔසාමා වතුරෙන් මතුවෙලා බෝට්ටුව උඩින් සහෝදරයාව ඇදලා වතුරට ගත්තා.

ඒ වෙලාවේ මම උදව් ඉල්ලා කෑගහුවා.. එක පාරටම ආයෙත් දිය යටින් මතු වුණු ඔසාමා මගේ සහෝදරයා පීටර්ගේ කකුලකින් අල්ල ගත්තා. ඊට පස්සේ එයාව වතුර යටට ඇදගෙන ගියා. දවස් කිහිපයකට පස්සේ අපිට එයාගේ පාදයකුයි, හිසයි ඉවුර අයිනේ තිබිලා හමු වුණා..” 

අත්භූත “මිනිමීරු ඔසාමා” කොටු කරගත්ත හැටි

“මිනීමරු ඔසාමා” ගේ ක්‍රියාවන් අවසන් කිරීමේ මෙහෙයුම පටන් ගන්නේ 2005 වසරේදී. 

දින 07ක් පුරාවට දිවා රාත්‍රී නොබලා දැවැන්ත මෙහෙයුමක් මෙම භයානක කිඹුලා කොටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න වුණා. මේ මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන් ඇතුළු ගම්වැසියන් 50 දෙනෙකු පමණ එකතු වෙලා හිටියා.

මෙහිදී ගවයෙකුගේ පෙනහළු යුවලක් ඇමක් ලෙස භාවිත කර ඔසාමාව කොටු කරගැනීමට උගුලක් අටවන්නට පිරිස කටයුතු කර තිබුණා.

පිරිසගේ ඇමට හසු වුණු මිනීමරු ඔසාමා විසින් ගව පෙනහළු ආහාරයට ගැනීමට පැමිණෙනවාත් සමඟ ඔසාමාගේ මුව උගුලට හසු වෙනවා.

පසුව මෙහෙයුමට සම්බන්ධ වූ පිරිස දැඩි පරිශ්‍රමයක් දරා කිඹුලාව ගැට ගසා මුහුණ ආවරණය කර වික්ටෝරියා විල වෙත ගෙන යෑමට ට්‍රක් රථයකට පැටවීමට සමත් වුණා.

පිරිසක් විසින් කිඹුලා ඝාතනය කළ යුතු බවට දැඩිව පවසා තිබුණත් වනජීවි නීති යටතේ එයට අවසර හිමි නොවන නිසා එම අදහස අත්හැර ගැනීමට ඔවුනට සිදු වුණා.

පසුව මෙම කිඹුලාව උගන්ඩාවේ කිඹුලන් බෝ කිරීමේ ස්ථානයක් වෙත ලබාදුන් බවත් වාර්තා වෙනවා.

Rate this item
(1 Vote)