April 23, 2024

මේ කළු දිලීරය යනු කුමක්ද? තවත් කළු ජූලියක් ඇති නොවන්නට වග බලා ගනිමු

තවත් කළු ජූලියක් ඇති නොවන්නට වග බලා ගනිමු.

මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් බැට කන්නට පටන් ගත්තේ 2020 ජනවාරි මාසයේ සිට වුවත්, හතරවන කාර්මික විප්ලවය, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කතා කරමින් සිටි තාක්ෂණිකව දියුණු ලෝකය තවමත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට නොහැකිව බැට කමින් සිටී. විවිධ අවස්ථාවලදී රටවල් කොරෝනා පාලනයේ කිසියම් ප්‍රගතියක් අත්කර ගත්තද, විටින් විට පැමිණෙන විවිධාකාර කොරෝනා ප්‍රභේද නිසා ඒ රටවල් නැවතත් අගතියට පත් වූ අවස්ථා අප අත්දැක ඇත.

සාමාන්‍යයෙන් කරදර පැමිණෙන විට එය බුරුතු පිටින් පැමිණෙන බව අප දන්නා කරුණකි. ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා සේම අසල්වැසි ඉන්දියාවට ද එවැනි ව්‍යසන කීපයකටම මුහුණ පෑමට සිදුවී ඇත., ඉන්දියාවට කිඹුහුමක් ගියොත් කිලෝ මීටර 55 කින් මෙහා සිටින අපට උණ ගැනෙන නිසාම, අප මේ ව්‍යසන වලටද දැන් දැන් සූදානම් විය යුතු බව මගේ හැඟීමයි.

ඉන්දියාවේ නවතම ප්‍රශ්නය වන්නේ කළු දිලීරයයි. එය දැනට ප්‍රාන්ත කිහිපයක පැතිරෙමින් පවතින අතර ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් රජයට බල කරන්නේ මේ සම්බන්ධව ඉන්දියාව පුරා හදිසි තත්ත්‍වයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. එය කිසියම් හෝ මොහොතක ලංකාවට පැමිණියහොත් මේ අවස්ථාවේ අපට සිදු වන්නේ ද ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනීමටත් එහා කරදරයකි.

මේ කළු දිලීරය යනු කුමක්ද ?

කළු දිලීරය යනු සාමාන්‍යයෙන් තෙත් අඳුරු ස්ථානවල වැඩෙන කළු පැහැති දිලීරයකි. Mucormycosis යනුවෙන් හැඳින්වෙන මෙය මිනිසුන්ට ආසාදනය වීම ඉතා දුර්ලභ සිදුවීමක්. පස, ශාක, පොහොර සහ දිරාපත් වන පලතුරු හා එළවළු වල බහුලව දක්නට ලැබෙන දිලීරයට නිරාවරණය වීමෙන් රෝගී වීම සිදු වේ..
සාමාන්‍ය කෙනෙකුට එයින් හානියක් නොවූවත්, දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය එම ආක්‍රමණවලට ගොදුරු විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා රෝගයෙන් සුව වූ දියවැඩියා ලක්ෂණ ඇති රෝගීන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ඉඩක් ඇති බව සොයාගෙන තිබෙනවා. එසේම එය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නක් නොවන රෝගයක්.

කිසියම් කෙනෙකු වාතය මගින් ප්‍රචාරණය වන මෙම කළු දිලීර බීජාණු ආශ්වාස කිරීමෙන් පසු ඒවා පෙනහළුවල ප්‍රදාහය වූ කෝටරකවලට හෝ සම මතුපිට වූ කැපුණු ස්ථාන වැනි තැන්වලින් සිරුර තුළට ඇතුළුවීම සිදු විය හැකියි. රෝග ලක්ෂණ පහල වන්නේ ශරීරයේ දිලීර වර්ධනය වන ස්ථානයේ වන අතර මුහුණේ ඉදිමීම, උණ, සමේ වණ සහ මුඛයේ කළු තුවාල ආදිය ද ඇති විය හැක.

විශේෂඥයින් පවසන අන්දමට මෙම රෝගය නිසා මුලින්ම “අපගේ නළල, නාසය, කම්මුල් සහ ඇස් සහ දත් අතර පිහිටා ඇති හිදැස්වල වල සමේ ආසාදනයක් ලෙස පෙනෙන්නට පටන් ගනී” පසුව “එය ඇස්වලට පෙනහළු සහ මොළයට පවා පැතිර යා හැකිය. එය නාසයට කළු වීම හෝ දුර්වර්ණ වීම, නොපැහැදිලි හෝ ද්විත්ව පෙනීම, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා සහ කැස්ස සමග රුධිරය පිටවීම මෙහි රෝග ලක්ෂණ වනවා. මෙය සිරුර ආක්‍රමණය කරන එක් ක්‍රමයක් වන්නේ රුධිරය හරහා පැතිරී විවිධ ඉන්ද්‍රියයන් ආක්‍රමණය කිරීමයි. එහිදී පටක මිය යන අතර ඒ මිය යන පටක කළු පැහැති වනවා... ඒ නිසා එම රෝගය කළු දිලීර (Black Fungus) රෝගය නමින් නම් කර තිබෙනවා.

රෝගී වූවන්ගෙන් 50% ක් මිය යා හැකි බව කියන මේ කළු දිලීර රෝගය දැනට කෝවිඩ් -19 නිසා රෝගීව සිට පෙනහළුවල ආසාදනයන්ගෙන් ආරක්ෂා කිරීමට ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ ලබා දුන් රෝගීන්ට වඩාත් වැඩි බලපෑමක් සිදු කරන බව වෛද්‍යවරුන් අනුමාන කරති.
ස්ටෙරොයිඩ් ඖෂධ විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් කරවීම නිසා කෙරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම මගින් සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට උපකාරී වේ. නමුත් එම ඖෂධ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය අඩු කරන අතර දියවැඩියා රෝගීන් සහ දියවැඩියා නොවන කොවිඩ් -19 රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන බව පර්යේෂකයින්ගේ මතයයි. මෙම ප්‍රතිශක්තිකරණය අඩු වීම කළු දිලීරයට ශරීරය ආක්‍රමණය කිරීමට ඉඩ සලසන බව වෛද්‍යවරුන් සැක පහල කරනවා. කොරෝනා රෝගීන්ට අමතරව, පිළිකා රෝගීන්, HIV ආසාදිතයින් මේ අනතුරට ගොදුරු විය හැකි බව ඔවුන් පවසනවා.

ආසාදනය දරුණු වූ විට දිලීර ආසාදනය රුධිර නාල හරහා මොළයට ගමන් කරයි. එමගින් ඇස් පෙනීම නැති වීමට හෝ මුහුණේ “සැලකිය යුතු අන්දමේ සිදුරක්” ඇති කිරීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසනවා. "පාලනය නොකළහොත්, ප්‍රතිකාර නොකළහොත්, එය 20% සිට 50% දක්වා ඕනෑම පරාසයක මරණ අනුපාතයක් බලාපොරොත්තු විය හැකි බව විශේෂඥයින්ගේ මතයයි.

මෙම රෝගයට ලබා දිය හැකි ප්‍රතිකාර ලෙස Amphotericin-B නිර්දේශ කර තිබෙන අතර ඉන්දියාවේ දැනටමත් Amphotericin-B හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මේ රෝගය උත්සන්න වී ඇසට ආසාදනය වුවහොත් ඇස ගලවා දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව වෛද්‍යවරුන් පවසනවා.
රෝගීන්ට සුවය ලැබීමට සති හයක් දක්වා දිලීර නාශක Amphotericin-B අවශ්‍ය වනවා. ඔවුන්ගේ සුව වීම රඳා පවතින්නේ කෙතරම් ඉක්මනින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකිවේද යන කරුණ මතයි.

බොහෝ විට, මියගිය හෝ ආසාදිත පටක කපා දැමීමට ශල්‍යකර්මයක් අවශ්‍ය වේ. “සමහර රෝගීන් තුළ මෙය හක්කේ ඉහළ කොටස හෝ සමහර විට ඇස පවා අහිමි වීමට හේතු විය හැකිය” යනුවෙන් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මුම්බායි හි සියොන් රෝහල තුළ පමණක් පසුගිය මාස දෙක තුළ දිලීර ආසාදන රෝගීන් 24 ක් වාර්තා වී ඇති අතර සාමාන්‍යයෙන් වසරකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වන 18 ට වඩා රෝගීන් 6 ක් මේ මාස දෙක තුළ පමණක් ඉහළ ගොස් ඇති බව රෝහලේ කණ, නාසය සහ උගුර අංශයේ ප්‍රධානී වෛද්‍ය රේණුකා බ්‍රැඩූ පවසි තිබෙනවා.

එම රෝගීන් 24 දෙනාගෙන් එකොළොස් දෙනෙකුට ඇස් අහිමි වූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඇගේ රෝගීන්ගෙන් බහුතරයක් කොවිඩ් -19 සුවය ලබා සති දෙකකට පසු දිලීරයට ගොදුරු වූ මැදිවියේ දියවැඩියා රෝගීන් වීම විශේෂත්‍වයක්. "අපි දැනටමත් සතියකට මෙවැනි අවස්ථා දෙකක් හෝ තුනක් මෙහි දකින්නෙමු. එය වසංගතයක් තුළ ඇති බියකරු සිහිනයකි," ඇය බිය පළකරනවා..

දකුණු බැංගලෝරයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය රගුරාජ් හෙග්ඩේ ද එවැනිම කතාවක් කියනවා. ඔහු පසුගිය සති දෙක තුළ කළු දිලීර ආසාදිත රෝගීන් 19 ක් දැක ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තරුණ රෝගීන් ය.

මේ වන විට තමිල්නාඩු, ඔඩීෂා, ගුජරාට්, රාජස්ථාන් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත පහ කළු දිලීර වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් ප්‍රාන්ත කිහිපයක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් රෝගය හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලියේ රෝහල්වල ද පෙර නොවූ විරූ ලෙස රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබේ - සමහර රෝහල්වල මීට පෙර මසකට එක් හෝ දෙකක රෝගීන්ගේ අනුපාත හා සසඳන විට දැන් දිනකට නව රෝගීන් 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන්,. දිල්ලියේ සහ බැංගලෝරයේ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් සඳහා පොරොත්තු ලේඛනයක් පවා දැන් සකසා තිබෙනවා.

මේ රෝගය සමහරවිට ලංකාවට බලපෑමක් නොකරනු ඇති. නමුත්, ඔබගේ පරිසරයේ මේ අවස්ථාවේද තිබිය හැකි මේ කළු දිලීරය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ ඕනෑම විටෙක පහර දීමට පුළුවනි. එවිට කළ යුතු දේ ඉතාමත් ඉක්මනින් අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ වටිනා ඇස් සහ මුහුණේ කොටස් ආරක්ෂා කරගත හැකියි.

මෙය අවදානමක් පැමිණීමට පෙර දැනුවත් කිරීමක් පමණයි. නමුත් දැන් දැන් අප වුවත් සූදානම් වී සිටීම නුවණට හුරුයි. එසේ නැතහොත් කොරෝනා සමග දැන් දැන් මතුවෙමින් පවතින ඩෙංගු වසංගතයට මෙම කළු දිලීර එකතු වුවහොත් අපට තවත් යුද්ධයක් කිරීමට සිදු වේවි...

අවට පරිසරය හැකිතාක් පිරිසිදුව තබා ගන්න. මේ දිනවල වැසි සහිත කාලගුණය නිසා නිවසේ දිලීර වර්ධනය විය හැකි තැන් පිරිසිදු කරන්න. නිතර නිතර ප්‍රතිශක්තිකරණය වැඩිකරන ආහාර පාන සහ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. දියවැඩියාව රෝගීන්ගේ අළුත් රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න. එවැනි රෝග ලක්ෂණයක් දුටු විගස වෛද්‍යවරයා දැනුවත් කර, අවශ්‍ය නම් Amphotericin-B ලබා දෙන්න.

රසායන විද්‍යාඥ ආචාර්ය පියල් ආරියනන්ද

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 May 2021 21:22