April 19, 2024

'ලොව සුන්දරම දිවිනසාගැනීම' පිටුපස ඇති අසුන්දර කතාව

1947 වසරේ මැයි මස පළමු වැනි දා නිව්යෝක් නගරයට සුපුරුදු ලෙස හිරු උදා වුණා. නිව්යෝක්හි ආඩම්බරය වූ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ධවල යෝධයෙකු මෙන් හිරු එළියෙන් බැබළෙමින් තිබුණා. එදවස ලොව උසම ගොඩනැගිල්ල ලෙස ලෝපතල වූ මේ කොන්ක්‍රීට් යෝධයාගේ පළමු මහලෙහි දොරටුවෙන් එතුළට පිවිසියේ සියුමැළි සුරූපිනියක්.

එවලින් මැක්හේල් නම් වූ ඇය විසිතුන් හැවිරිදි වියේ පසු වූවා. තමා සේවය කළ පර්ල් වීදියේ පිහිටි සමාගමට නොගොස් ලොව උසම ගොඩනැගිල්ලට ඇය හිමින් සීරුවේ නගින්නේ මන්දැයි කිසිවෙකු විමසිලිමත් නොවූයේ එය විශේෂ සිදුවීමක් නොවූ නිසා යි. එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මහජනයාට විවෘත වී ඒවන විට වසර 16ක් පමණ ගතව තිබුණත් එයට නැග නිව්යෝක් නගරයේ අහස් දර්ශනය නැරඹීමට මිනිසුන් තුළ වූ ආශාව පහව නොතිබූ හෙයින් දිනපතාම එය තුළට විවිධ පිරිස් පිවිසුණා.

නමුත් එවලින් එදින එතුළට පිවිසියේ සුන්දර දසුනක් නැරඹීමට නොවෙයි. බාහිරින් සිට බලන කිසිවෙකුට කිසිසේත් සුන්දර නොවූ අරමුණක් ඇගේ සිත තුළ ගොඩනැගෙමින් තිබුණා. එහෙත් ඒ අරමුණ සුන්දර එකක් ලෙස ඇයට දැණුනා. එම සිතුවිළි අතරතුර සිය පෙම්වතා වූ බැරී රෝඩ්ස් සමග රාත්‍රියේ ගත කළ තුටු පැය කිහිපය පිළිබඳ සුන්දර මතකයන් එවලින්ගේ සිත තුළ විටින් විට මතු වුණා.

රෝඩ්ස් හමුවනු පිණිස පෙර දින ඇය දුම්රියේ නැගී පෙන්සිල්වේනියාහි ඊස්ටන් බලා ගිය ගමන ගැනත්, ඔහුගේ නිවස්නෙහි ගත කළ අවසන් රැය පිළිබඳවත් ඇය සිහිපත් කළා. ඔව්! සැබැවින්ම එය තම අවසන් රාත්‍රිය නොවේදැයි ඇය කල්පනා කළා. අරුණ උදාවීමත් සමග රෝඩ්ස්ට හාදුවකින් සමු දී ඇය කෙලින්ම යළි පැමිණියේ හුරුපුරුදු නිව්යෝක් වෙතයි. නිව්යෝක් නුවරට පා තැබූ සැණින් එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල වෙත ඇගේ ගමන් මග යොමු වුණා.

ඇගේ ගමන් විලාසයේ හදිසියක් තිබුණේ නැහැ. අවසානයේ ඇය සිය ගමනාන්තය වූ ‘නැරඹුම් මැදිරිය’ කරා ලඟා වූවා. එය පිහිටියේ ගොඩනැගිල්ලෙහි 86 වැනි මහලේ යි. කිහිප දෙනෙකු මේ විසල් නගරයේ උදා සිරිය නරඹමින් සිටියා. සිරිත් පරිදි එහි රාජකාරියෙහි නිරතවී සිටි ආරක්ෂක භටයාට කිසිදු අමුත්තක් නොදැනුනත් පුරුද්දට මෙන් ඔහු එහා මෙහා සැරිසරමින් සිටියා.

එවලින්ට මේ කිසිවක් නොපෙනුනේ ඇගේ හිත බොහෝ දුර ඈත තැනක තිබුණු නිසා යි. කණගාටුවක් නොපෙන්වූ ඇගේ දෑස ක්ෂිතිජය කරා යොමුව තිබුණා. ඇගේ පියකරු දීප්තිමත් මුහුණ වෙනදා මෙන්ම යොවුන් සිරියෙන් පිරී තිබුණා. ගත වූයේ තත්ත්පර කිහිපයක්ද විනාඩි කිහිපයක්ද යන්න පිළිබඳ එවලින්ට තේරුනේ නැහැ. ඇය එය තේරුම් ගන්නට උත්සහ ගත්තේ ද නැහැ.

ක්ෂිතිජය වෙත යොමු වූ දෑස ඉන් ඉවතට ගත් එවලින් සිය ඇඳුමට උඩින් ඇඟ ලා සිටි කබාය ගලවා අතට ගත්තේ කලබලයකින් තොරවයි. ඇය ශාන්ත ලෙසම එය බොහොම පිළිවෙලින් නවා නැරඹුම් මැදිරියේ බැම්ම මතින් තැබුවා. සිය ගෙළ වටා ඔතා සිටි සුදු සාලුව සෙමින් ලිහිල් කළ ඇය එය අතට ගෙන නිව්යෝක් අහසේ සිසිල් සුළඟට යොමු කොට අතහැරියා. සිරගතව සිට නිදහස ලත් කුරුල්ලෙකු මෙන් සාලුව සුළඟ සමග පාවී ගියා.

එවලින්ට අඩි 10ක් පමණ ආසන්නයේ සිටි ආරක්ෂක භටයාට සිය නෙත් කොණින් යම් අමුත්තක් පෙනුනා. හැරී බැලූ විට ඔහු දුටු දසුන ජීවිත කාලය මුළුල්ලේම සිය සිතින් මකා දමන්නට නොහැකි වේ යැයි ඔහුට ඒ මොහොතේ කල්පනා වූයේ නැහැ. මීට මඳ වේලාවකට පෙර නැරඹුම් මැදිරියට ඇතුළු වූ සුරූපී තරුණිය එහි බැම්ම මත නැග සිටිනු ඔහු දුටුවා. කිසිවක් කියන්නට හෝ කරන්නට සිතන්නවත් පෙර ඇය ඔහුගේ දෘෂ්ඨිපථයෙන් අතුරුදන් වූවා.

එවලින් පිහාටුවක් සේ පාවී තත්පර කිහිපයක් ඇදවැටුණා. ඒ තත්පර කිහිපය තුළ ඇය සිය තීරණය පිළිබඳ සතුටු සිතින් දෙනෙත් පියාගෙන සිටියා. නිව්යෝක් අහසේ සිට පොළව දක්වා සුළඟ හරහා ගිය අඩි 1000කට වඩා මඳක් වැඩි දුර ගමන නිම වුණා. එවලින්ට කිසිදු වේදනාවක් නොදැණුනා. සිය මුහුණෙහි වූ ශාන්ත බව එලෙසම තබා ඇය නොදන්නා ලෝකයකට යළි නොඑන්නටම ගොස් තිබුණා.

නොනවත්වා වාහන සැරිසරන නිව්යෝක් මං මාවත් හොඳින් හුරු පුරුදු අයෙකු වූ ජෝන් මොරිසි වෙනදා මෙන්ම සිය සුපුරුදු රාජකාරිය වූ වාහන හැසිරවීමෙහි නිරතව සිටියා. කලබලකාරී නගරයෙන් හෙම්බත් වී සිටි ඔහු තත්පරයකට අහස දෙස බැලුවා. තමන් දුටු දසුන ඉතා සාමකාමී එකක් බව ඔහුට දැණුනා. ජෝන් දුටුවේ සුදු පැහැති සාලුවක් අහසේ සිට ඉතා සෙමින් පාවී එන ආකාරය යි. එය කොතරම් සාමකාමී, ශාන්ත දසුනක්දැයි කිව හොත්, සුදු සාලුව ස්වර්ගයේ සිට පැමිණෙන්නාක් මෙන් ඔහුගේ සිතට දැණුනා. රාජකාරිය අතරතුරේම ජෝන් එය දෙස බලා සිටියේ වශී වූ අයුරින්.

එහෙත් එකවරම නැගුණු මහා ශබ්දයෙන් ජෝන් මොරිසිගේ දැහැන බිඳී ගියා. ඔහු තිගැස්සී ගියේ හෙණ හඬක් පළමු වරට ඇසූ ළදරුවෙකු වාගේ යි. ජෝන් පමණක් නොවෙයි, එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල පාමුළ නවතා තිබූ කාරයක් මතට යමක් ඇදවැටුණු මහා හඬ ඇසී අවට සිටි නගරවැසියන් තිගැස්සී බියට පත් වූවා.

බොහෝ දැඩි බවින් යුතු දෙයක සියුමැළි යමක් තදින් වැදුණු විට බිඳෙන්නේ සියුමැළි දෙය බව සැවොම දත් කරුණක් වුවත් මෙදින සොබාදහම පවා වෙනසක් කොට ඇති බව පෙණුනා. අහසේ සිට පාවී ආ යෞවනිය කාරය මත නිදා සිටියා. එහෙත් කාරයෙහි වහළය නැමී පොඩිවී තිබූයේ නිදන තරුණියට සුමුදු සයනයක් සළසන්නාක් මෙන් වූ දසුනක් මවා දෙමින්. අහස සිඹින ගොඩනැගිළිවලින් දිවි එපා වී  බිමට පනින්නන්ගේ පොඩිපට්ටම්වන, කැබලිවලට වෙන් වන සිරුරුවල දසුන් නිව්යෝක්වාසීන්ට අමුත්තක් නොවුණත් එවලින්ගේ සිරුරට එවැන්නක් වී තිබුණේ නැහැ. පෙර පැවසුවාක් මෙන් දෙනෙත් පියා නිදා සිටින තරුණියක් මිස මියගිය තරුණියක් කිසිවෙකුට පෙණුනේ නැහැ.

ඇඟ කිළිපොලාගිය ශබ්දය ඇසී එතැනට දිව ආ පිරිස අතර රොබට් වයිස්ල් නමැති තරුණයා ද සිටියා. ඡායාරූප ශිල්පය හදාරමින් සිටි නිසා නිතර කැමරාවක් එල්ලාගෙන සිටි ඔහුගේ දෑත එය වෙත ගියේ සිතාමතාම නොවෙයි. තවමත් මඳක් හෝ සීතල වී නොමැති එවලින්ගේ රුව රොබට්ගේ කැමරා කාචය මත සටහන් වූවා.

පැය කිහිපයකට පසුව විමර්ශන නිලධාරී ෆ්‍රෑන්ක් මරී එම්පයර් ස්ටේට්හි 86 වැනි තට්ටුවේ පිහිටි නැරඹුම් මැදිරිය වෙත පිවිසුණේ කුමක් හෝ සාක්ෂියක් එහි ඇත්දැයි විමසීමට යි. බොහොම පිළිවෙලින් නවා තිබූ කාන්තා කබායක් ඈත සිටම ඔහුගේ නෙත ගැටුණු අතර ඔහු එයට ලං වූයේ කුතුහලයෙන් යුතුවයි. කබායට තනි රකිමින් කුඩා රූපලාවන්‍ය පෙට්ටියක් ඔහුගේ නෙත ගැටුණා. එය තුළ එවලින්ගේ පවුලේ ඡායාරූප ගොන්නක් තිබූ බව ඒවන විට ෆ්‍රෑන්ක් දැන සිටියේ නැහැ. 

කුඩා පෙට්ටියට පසෙකින් තවත් කුඩා අඳුරු යමක් ඇති බව ෆ්‍රෑන්ක් හට පෙනී ගියා. සාක්කුවේ රුවා ගෙන යා හැකි කුඩා සටහන් පොතක් වූ එය කලු පැහැයෙන් යුතු වූවා. එය අතට ගත් නිලධාරීවරයා පරෙස්සමින් එය පෙරළා පිරික්සන්නට පටන් ගත්තා. එවලින්ගේ අත් අකුරින් යුතු කුඩා පණිවිඩයක් එහි සටහන්ව තිබුණා. ඇය එය සටහන් කර තිබුණේ සිය සොයුරිය වෙත යි.

"පවුලේ කෙනෙක්වත් පවුලෙන් පිට කෙනෙක්වත් මගේ මළ සිරුරේ කිසිදු කොටසක් දකිනවට මා කැමති නැහැ. කරුණාකර මගේ සිරුර විනාශ වෙන පරිදි ආදාහනය කරන්න ඔබට පුළුවන්ද? මා වෙනුවෙන් අවමගුල් උත්සවයක්වත් කිසිම සැමරීමක්වත් කරන්න එපා කියලා ඔබගෙන් සහ මගේ පවුලේ අයගෙනුත් මා ඉතා බැගෑපත්ව ඉල්ලනවා. ජුනි මාසෙදි විවාහ වෙමුද කියලා මගේ පෙම්වතා මගෙන් ඇහුවා. ඒත්, මා කාටවත් හොඳ බිරිඳක් වේවි යැයි මා හිතන්නෙ නෑ. මා නැතිව ඔහුගේ ජීවිතය ගොඩක් යහපත් එකක් වේවි. මට තියෙන්නෙත් මගේ අම්මාගෙ ගතිමයි කියලා තාත්තාට කියන්න"

එවලින් ඇද වැටී තිබුණේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අයත් "කැඩිලැක් ලිමසීන්" වර්ගයේ කාරයක් මතට යි. එය පදවාගෙන ආ රියදුරා රථය මාර්ගය අයිනේ නවතා තබා අසළ තිබූ ඖෂධ හලකට ගොස් තිබුණේ සිය වාසනාවකට යි. මෙය සිදුවන මොහොතේ දී කාරයේ රියදුරා හෝ වෙනත් කිසිවෙකු එය තුළ සිටියා නම්, එසේත් නැත්නම් ඇය මිනිසුන් පිරුණු තැනකට වැටුණේ නම්, එවලින් නික්මෙන්නේ තවත් ජීවිත කිහිපයක් ද රැගෙන යි.

පැය කිහිපයකට පෙර තමා සමග පෙමින් වෙලී සිටි එවලින් පිළිබඳ වූ පුවත කන වැකෙද්දී බැරී රෝඩ්ස් හට එය සැබෑවක් බව අවබෝධ කර ගැනීමට බොහෝ වේලාවක් ගත වූවා. සිය පෙම්වතිය දිවි නසාගෙන ඇතැයි විශ්වාස කරගැනීමට ඔහුගේ සිත සූදානම් වූයේ නැහැ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අතරතුර පෙරදින රාත්‍රිය සහ ඇය ඔහුට සමුදුන් උදෑසන පිළිබඳව පොලීසිය රෝඩ්ස්ගෙන් විමසීම් සිදු කළා. එවලින්ගේ කිසිදු වෙනසක් නොවූ බව සිහිපත් කළ රෝඩ්ස්, තමාට මෙය තවමත් අදහාගත නොහැකි බවට සාක්ෂි දුන්නේ ගලාහැලෙන කඳුළින් යුතුව යි.

"මා ඇයට සමුගැනීමේ හාදුව දෙන විට ඇය සිටියෙ ඉතාමත් සතුටින්. ඇගේ පෙනුමෙහි කිසිදු කණගාටුදායකබවක් තිබුණෙ නෑ. ලඟදි විවාහ වීමට සිටින ඕනෑම තරුණියක්ම වගේ ගොඩක් සතුටින් ඇය හිටියේ."

එවලින්ගේ කෙටි ලිපියේ අවසාන පේළිය හරහා සොයා බැලූ විමර්ශකයින්ට පෙනී ගියේ ඇගේ මව වූ හෙලන් මැක්හේල්, වසර ගණනක් තිස්සේ විෂාදය නමැති සුලබ මානසික රෝගී තත්ත්වයෙන් පෙළී ඇති බවයි. හෙලන් හෝ පවුලේ කිසිවෙකු ඇයට ඇත්තේ මානසික රෝගයක් බව හඳුණාගෙන නොතිබුණු අතර මේ නිසාම හෙලන් සහ ඇගේ සැමියා වූ වින්සන්ට් මැක්හේල් අතර විවාහය ද දික්කසාදයකින් කෙළවර වී තිබුණා. දික්කසාදයෙන් පසු දරුවන්ගේ හිමිකම වින්සන්ට් හට ලැබී තිබුණු අතර එවලින් සහ සොයුරු සොයුරියන් හැදී වැඩී තිබුණේ පියා සමග යි.

විශාදය යනු දිවිනසාගැනීම කෙරෙහි සිත යොමුකරන ප්‍රධාන මානසික රෝගී තත්ත්වයක්වන අතර මව මෙන්ම එවලින් ද විශාදයෙන් පෙලී ඇති බවට සැක කෙරුණා. "මට තියෙන්නෙත් මගේ අම්මාගෙ ගතිමයි කියලා තාත්තාට කියන්න" යනුවෙන් ඇයම පැවසීම තුළින් එය තවදුරටත් ඔප්පු වූ බව විමර්ශකයින් පැවසුවා.

අවසානයේ එවලින්ගේ ඉල්ලීම පරිදිම අවමගුල් උත්සවයක් හෝ කිසිදු සැමරීමකින් තොරව ඇගේ සිරුර ආදාහනය කිරීමට පවුලේ සාමාජිකයින් ක්‍රියා කළ අතර ඇය වෙනුවෙන් සොහොන් කොතක් හෝ ඉදි වූයේ නැහැ.

සෑම තත්ත්පර 40කට වරක්ම ලොව කොහේ හෝ තැනක පුද්ගලයෙක් තමන්ගේම ජීවිතය උදුරාගන්නවා. එවන් පසුබිමක මීට වසර 70කටත් වඩා කාලයකට පෙර සිදු වූ එවලින් මැක්හේල්ගේ දිවි නසාගැනීම මෙතරම් කතාබහට ලක්වීමට හේතුව කුමක්ද? එය පිටුපස සිටින්නේ කාරය මතට පතිත වූ සැණින් එවලින්ගේ සිරුර වෙත ලඟා වී එම දසුන කැමරාව මත සටහන් කර ගත් රොබට් වයිස්ල් නමැති ඡායාරූප සිසුවා යි.

රොබට් ලබා ගත් එම ඡායාරූපයට දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබුණේ එහි සිටින තරුණිය මියගොස් ඇති බවක් කිසිලෙසකින් නොපෙනීම මතයි. බොහෝ දෙනා මෙම ඡායාරූපය හරහා දකින්නේ සුදු පැහැති අත්වැසුම්ලා, විවේකීව සැතපී, දෙනෙත් පියා, පයක් පිට පයක් තබා, සිය මුතු මාලය ඇඟිළි අතර රඳවා සිහින මවමින් සිටින තරුණියක් බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවෙයි. ඇගේ තොල් ආලේපන සහ දෑස් ආලේපන පවා කිසිදු හානියකින් තොරව සුන්දර ලෙස පැවැති බව ඡායාරූපය පමණක් නොව සිද්ධිය හැබැහින් දුටුවන් පවා පැවසුවා.

සිය මළ සිරුර කිසිදු කෙනෙකු දකිනවාට අකමැති බව කී එවලින් මැක්හේල් අවසානයේ දී ජීවිතයට සමු දුන්නේ සිය මළ සිරුර ලෝක ප්‍රකට, ජනප්‍රිය සංකේතයක් බවට පත් කරවමින්. එමෙන්ම ඡායාරූපමය වටිනාකමින් පොහොසත් ඡායාරූප අතර ප්‍රමුඛ ස්ථානයක් එයට ලැබෙන බව විචාරකයින් අදටත් සඳහන් කරනවා. රොබට් වයිස්ල් විසින් එවලින්ගේ සිරුරෙහි ඡායාරූප කිහිපයක්ම ගෙන තිබුණත්, ඔහු විසින් ප්‍රසිද්ධ කර තිබුණේ ඉන් එකක් පමණක් වීම ද විශේෂත්වයක්.

අඩි 1050ක් පමණ උසක සිට ඇද වැටුණත් එවලින්ගේ මුහුණට හානි නොවීමට හේතුව වී ඇත්තේ ඇගේ පාද පෙදෙස ප්‍රථමයෙන් කාරයේ ගැටීම බව විශේෂඥයින් පවසනවා. අධික වේගයෙන් ගැටුණු ඇගේ පාදවල රුවා තිබූ සපත්තු ගැලවී බොහෝ දුරකට විසිවී ගොස් ඇත්තේ මේ නිසායි. එමෙන්ම කාරයේ ගැටීමේ දී ඇය දෙපාවල පළඳා සිටි දිගු මේස් සම්පූර්ණයෙන්ම ඉරී ගොස් තිබූ බවත්, සිරුරේ අනෙක් කොටස්වලට වඩා ඇගේ පාදවලට දැඩි හානියක් සිදුවී තිබූ බවත් ඇසින් දුටු සාක්ෂි සඳහන් කරනවා. 

කෙසේ වෙතත්, සංසුන්ව නිදා සිටින අයුරින් දර්ශනය වූ එවලින්ගේ සිරුර එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදු කරද්දී මැවුණු දසුන නම් කිසිසේත් ප්‍රිය ජනක වූයේ නැහැ. සිද්ධිය දුටුවන් සඳහන් කොට ඇත්තේ ඇගේ සිරුර ඔසවා රැගෙන යද්දී එය කැබලිවලට කැඩීගිය බවයි. බැලු බැල්මට නොපෙනුනත් ඇදවැටීමෙන් ඇගේ සිරුරට වී තිබූ හානිය කෙතරම් ද යන්නට එය කදිම සාක්ෂියක්.

රොබට් වයිල්ස්ගේ ඡායාරූපය ලෝකය පුරා සුප්‍රසිද්ධියට පත් වූයේ "සුන්දරම දිවිනසාගැනීම" (The most beautiful suicide) යන නාමයෙන්. පසුකාලීනව එම ඡායාරූපය සහ එහි පිළිබිඹුවන දර්ශනය ගීත ඇල්බම කවර, ගීත රූප රචනා, පොත් කවර සහ චිත්‍රපට ආදියටත් යොදා ගැනුණා.

එවලින් මැක්හේල්ගේ ආත්මය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලෙහි 86 වැනි මහලෙහි වූ නැරඹුම් මැදිරිය ආශ්‍රිතව සැරිසරන බවට ඇතැමුන් අදටත් විශ්වාස කරනවා. 1940 දශකයේ විලාසිතාවකින් සැරසුණු සුන්දර තරුණියක් එහි ඇවිද යන අයුරුත්, නැරඹුම් මැදිරිය වටා පසු කාලයේ සවි කළ ආරක්ෂක වැට විනිවිද ගොස් ඇය ඇදවැටෙන අයුරුත්, ඉන් අනතුරුව නැවතත් ඇය නැරඹුම් මැදිරිය මත ඇවිද යන අයුරුත් දුටු බව සඳහන් කරන බොහෝ දෙනෙකු පිළිබඳ වාර්තාවන් විවිධ මාධ්‍ය විසින් පළ කොට තිබෙනවා.

එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත්, "මා නැතිව ඔහුගේ ජීවිතය ගොඩක් යහපත් එකක් වේවි"යි එවලින් සිය අවසන් පණිවිඩය තුළ සටහන් කළ ද ඇගේ පෙම්වතා වූ බැරී රෝඩ්ස්, එවලින් පිළිබඳ වේදනාබර මතකය සිය හද තුළ සදා සුරකිමින් දිවි ගෙවූවා. 1947 වසරේ ජූනි මාසයේ දී සිය ආදරවන්තියගේ අත ගැනීමට සිහින මැවූ ඔහු කිසිදා විවාහ නොවූ තනිකඩ මහල්ලෙකු ලෙසින් 2007 වසරේ දී මියගියේ තමා හැමදාමත් එවලින් මැක්හේල් නමැති සුරූපී තරුණියගේ පෙම්වතා බව සිහිපත් කරමින් වන්නට පුළුවන්.

- සහන් පද්මසංඛ පීරිස්

පසු සටහන:

සියදිවි නසාගැනීමේ අදහසක් ඔබේ සිතට එන්නේ නම් දෙවරක් නොසිතා වහාම 1333 අංකය අමතන්න. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ඇමතිය හැකි සේවාවක්වන අතර ඔබ සිටින තත්ත්වයෙන් ඔබ මුදවාගෙන ජීවිතය සුන්දර කළ හැකි මනෝ උපදේශන සේවාවන් මෙම අංකය ඔස්සේ වහාම ඔබට ලබා ගැනීමට පුලුවන්. එසේම ලංකා සුමිත්‍රයෝ පදනම ඔස්සේ ද මෙවැනිම වූ උපදේශන සේවාවන් 0112696666 අංකය හා 0112683555 අංක ඇමතීම මගින් ලබාගැනීමේ හැකියාව පවතිනවා. හිත මිතුරෙකු සියදිවි නසා ගැනීමේ අදහසක ඉන්නා බවට ඔබට සැකයක් පවතී නම් ලංකා සුමිත්‍රයෝ පදනම අමතා ඒ පිළිබඳව ද ඔවුනට දැනුම් දීමෙන් ජීවිතයක් බේරාගැනීමට ඔබට හැකියි.

එමෙන්ම ඔබට හෝ ඔබේ හිතවතෙකුට අධික සිත් වේදනාවක් හෝ කළකිරීමක් හෝ සියදිවි නසා ගැනීමට පෙළඹෙන සුළු හැඟීමක් හෝ ඇතිවන්නේ නම් එය විශාදයෙහි ලක්ෂණයක් විය හැකියි. විශාදය යනු මේවන විට සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගී තත්ත්වයක්වන බැවින් ඉහත ආකාරයේ තත්ත්වයක් ඇත්නම් වහාම මනෝ වෛද්‍යවරයෙකු කරා යොමු වීම ඉතා වැදගත්.

Rate this item
(10 votes)
Last modified on Friday, 14 May 2021 12:49