May 15, 2021

‘ICU Beds’ මදිවෙනවා කියන්නේ මොකක්ද? - රෝහල් ගත වෙන්න පෙර දැනගත යුතු කතාවක්

රටක “ICU Beds (දැඩි සත්කාර ඒකකයේ ඇඳන්)” මදි වෙන එක ගැන බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් සිටියි.

සැබැවින්ම මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැති වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි වෛද්‍ය පැතුම් කර්නර් විසින් සිය ෆේස්බුක් පිටුව හරහා විස්තර කර තිබුණි.

මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් මදිවීම පිළිබඳව පුළුල් විස්තරය ඔහු විසින් දක්වා තිබුණේ පහත අයුරිනි.

ICU ඇඳේ විස්තරේ...

අපිට ICU ඇඳන් පොඩ්ඩයි තියෙන්නේ කියලා ලොකු කතාවක් නේ මේ ටිකේ...

ඇඳන් හදලා දෙන්නත් කට්ටියක් හැදුවලු.

ඇත්තටම  ICU ඇඳක් කියන්නේ නිකම්ම නිකම් ඇඳක් ද ? මොකක්ද විශේෂත්වය කියලා නොදැන තමයි ගොඩක් කතා කරන්නේ.

ඒ නිසා මෙන්න ICU ඇඳේ විස්තරේ...

ඇඳ : ඔව් ඒක විශේෂ ඇඳක්. තුන් හතර  පොලකින් නවන්න පුළුවන්. ඒවත් කකුලකින් පෑගුවාම හරි නැත්නම් බටන් එකක් එබුවාම නැවෙනවා. ලෙඩාව ඇඳේම තියාගෙන ඉන්ඳවන්න, කකුල් නවන්න. දෙකොනෙන් කැමති කොණක් උස්සන්න, පාත් කරන්න ඔක්කොම මේ ඇඳට පුළුවන්.  ඒ ඔක්කොම කරන්නේ ලෙඩා ඉන්න ඉරියව්ව වෙනස් කරන්න. එක එක රෝග වලට විවිධ ඉරියව් තියෙනවා ඇඳේ තියන්න ඕන. අනික ගොඩක් ලෙඩ්ඩු සිහි නැති කරලා නිසා ඒ මුළු ශරීරය වෙනත් ඉරියව් වලට මාරු කරන්න ඕනේ තව කෙනෙක්. ඒ නිසා ඒකට පහසු වෙන්න මෝටර් දාලා නැවෙන , ඉස්සෙන ඇඳක් හදලා තියෙනවා. ලෙඩාව නොවැටෙන්න දෙපැත්තෙන්  වැටවල් දෙකකුත් තියෙනවා. ඕකේ ඇඳ විට්ටම වගේ කෑලි ගලවන්න පුළුවන්. සේලයින් කණු වලට හිලුත් කොණ් වල තියෙනවා. ඒ වගේම කකුල් වලට රෝද හයි කරලා තියෙනවා. මේ ඇඳට කරන්ට් එක දෙන්න ඕනේ. වයර් එකක් , ප්ලග් එකක් එක්ක එන්නේ. මෙට්ටෙත් විශේෂයි. ඒ ඇඳකට ඇඳ රෙදි දාන්නෙත් වෙනම ක්‍රමයකට. ඔය ඔක්කොම එකතු කලාම ඇඳ හැදෙනවා. අනුමානෙට කිව්වොත් ඔය වගේ ඇඳන් ලංකාවේ ඉස්පිරිතාල වල 5000 ක් 10000 ක් වගේ ඇති. අමුතුවෙන් හදන්න ඕනේ නෑ. තියෙන ටික හොඳටම ඇති. ඒත් ඔය ඇඳක ලෙඩෙක් තිබ්බාම නිකම්ම  ලෙඩේ හොඳ වෙන්නේ නෑ. එහෙනම් ICU ඇඳක් කියන්නේ ඔය විශේෂ නැවෙන ඇඳට නෙවෙයි. ICU ඇඳක් කියන්නේ ඔය ඇඳ එක්ක එන ෆුල් පැකේජ් එකක්. ආන්න ඒවයි ඕනේ.

දැන් බලමු ඒ මොනවද කියලා.

ඔය ඇඳත් එක්ක තියෙන්න ඕන කාරණා 4 ක් තියෙනවා.

  1. යටිතල පහසුකම්
  2. තාක්ෂණික උපකරණ
  3. මානව සම්පත
  4. ඖෂධ

ICU එකක් හදන්නේ සුවිශේෂී විදියට. සාමාන්‍යයෙන් හදිසි අනතුරු අංශයට හෝ ශල්‍යාගාරය තියෙන තට්ටුවේ, වායුසමනය කල  ගොඩනැගිල්ලක, බිත්ති වලින් ඔක්සිජන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හා සාමාන්‍ය වාතය එන බට හයි කරලා, ඒවා ඇඳකට එක ගානේ දෙන්න පුළුවන් කරාම හදලා,  ප්ලග් පොයින්ට් ගොඩාක් තියෙන වයරින් එකක් කරලා, නර්ස්ලගේ කාමර, විවේක කාමර, වැසිකිළි, අමුත්තන් ඇඳුම් මාරු කරන තැන්, ලෙඩ්ඩු එන යන දොරවල්, අමුත්තන් යන එන දොරවල්, ස්ටාෆ් ර්ක යන එන දොරවල් වෙන වෙනම ප්ලෑන් කරලා, ආදී ගොඩක් කොටස් එකතු කරලා ඕනම බිල්ඩිමක් හිටි හැටියේ ICU එකක් කරන්න බෑ. ඒක වෙනම හදන්න ඕනේ අවශ්‍යතාවය බලලා. එතකොට ICU එක හදන්නේ ලෙඩ්ඩු කී දෙනෙකුට ද, මොන ලෙඩේටද කියන එක අනුවත් ඒවා වෙනස් වෙනවා.

ඇඳට අමතරව තව මහා ගොඩාක් වෛද්‍ය උපකරණ ඕකට ඕනේ. රුධිර පීඩනය, හුස්ම ගන්න වේගය, රුධිර ඔක්සිජන් , රුධිර කාබන් ඩයොක්සයිඩ් , නාඩි වේගය ආදිය මනින මොනිටරයක් ඕනේ. ඊට පස්සේ කටින් බටයක් දාලා, හුස්ම දෙන්න යොදා ගන්න මැෂිම හෙවත් වෙන්ටිලේටර් එක, බෙහෙත් වර්ග මැනලා හිමීට යන infusion pumps  කීපයක්, ලේ රත් කරන ඒවා , සේලයින් යවන ඒවා, basics. එතනින් එහාට ලේ පෙරණ ඒවා, ආදී තව උපකරණ ලෙඩාට අවශ්‍ය පරිදි. ඔය ළඟින් අර shocks දෙන defibrillator මැෂිම එහෙමත් තියෙනවා. තව තව මැෂින් තියෙනවා. ඒවා හැම තැනම නෑ.

වැදගත්ම කාර්‍යයභාරය පැවරෙන්නේ මානව සම්පතට. නර්ස්ලා තමයි ICU එකේ පණ. සාමාන්‍යයෙන් ICU එකක් කියන්නේ one to one care. එක ලෙඩාට එක නර්ස් කෙනෙක් කියන පදනම. පැය 24 ට shift 3 ක් තියෙනවා. එතකොට එක ලෙඩෙකුට/එක ඇඳකට එක දවසට නර්ස්ලා 3 දෙනෙක් ඕනේ. මේ ICU නර්ස්ලා ගොඩාක් සුවිශේෂී පුහුණුවක් ලබපු අය. ඒ පුහුණුව නැතුව ICU එකක් දුවන්න බෑ. රෝහලක ඉන්න සූක්ෂමම නර්ස්ලා ටික ICU එකක ඉන්නේ. ඇඳන් ගෙනාවැකි, මැෂින් ගෙනාවැකි. බිල්ඩිමත් හැදුවෑකි. ඒත් අමාරුම හරිය මෙහෙම නර්ස්ලා ටිකක් හදා ගන්න එක. ඒක එච්චර ලේසියෙන්, එච්චර ඉක්මනින් කොහොමත් කරන්න බෑ.

ICU එකේ දොස්තරලත් සුවිශේෂී අය. ඒ අයටත් ඒ පුහුණුව අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ලංකාවේ ICU බලා ගන්නේ නිර්වින්ධන විශේෂඥ  වෛද්‍යවරුන් (මගේ නෝනත් එයින් කෙනෙක්) . ඒ අය ඔපරේෂන් කරන්න කලින් ලෙඩ්ඩුන්ට සිහි නැති කරනවා වගේම, ICU වල අමාරු වෙච්චි මැෂින් හයි කරපු ලෙඩ්ඩුන්වත් බලනවා. මොකද පණ මැෂින් එකේ තියෙන කොට ඒක හසුරුවන්න හොඳටම දන්නේ ඒ අය නිසා. ලෝකයේ ICU වලටම විශේෂණය වුන  වෛද්‍යවරුන් ඉන්නවා. ඒ අයට කියන්නේ Intensivist කියලා. එහෙම අය ලංකාවේ හිටියේනෑ මෑතක් වෙනකං. ඒත් පසුගිය අවුරුදු 5 ක විතර ඉඳලා එහෙම අයත් ඉන්නවා. හැබැයි ඒ අලුත් කට්ටියට ICU බාර දෙන්න අර පරණ කට්ටිය තාම කැමති නෑළු. ඒ නිසා Intensivist ලා තාම ICU වලට වඩා ඉන්නේ කොට උඩ. ඒවා අපේ system failures. ඒ කතාව දිග වැඩි නිසා මෙතනට ගන්නේ නෑ.

ඔය ඔක්කොම තිබ්බත් වැඩක් නෑ ICU වල හොඳ බෙහෙත් නැත්නම්. අමාරුවෙන් දෙන බෙහෙත් චාටර් නම්. ඒ කියන්නේ බාල බෙහෙත්. සමහර බෙහෙත් ඇත්තෙන්ම ගුණාත්මකභාවයෙන් අඩුයි. බෙහෙත දුන්නට ලෙඩේ හොඳ වෙන්නේ නෑ. අමාත්‍යාංශයෙන් ඉස්පිරිතාලෙට එවපුවා මිසක් දොස්තරලට ගෙදරින් ගෙනත් බෙහෙත් දෙන්න බෑ. එවපුවා සවුත්තු නම්, ලෙඩා ගොඩ යන්නේ නෑ. සමහර වෙලාවට දොස්තරලට බැරිම තැන පිටින් ගේන්න ලියලා දෙනවා. ඔය antibiotics එහෙම. එහෙම වෙච්චි කට්ටිය ඇති. ඔය ගැන අමාත්‍යාංශයට පැමිණිලි ඕන තරම් කරලා ඇති. හැබැයි සමහර විට පැමිණිලි කරපු කෙනාම අමාරුවේ වැටුනා. බෙහෙත් ගෙන්නන සමාගම් සමහර විට බලගතුයි. ඔය බෙහෙතකට පැමිණිලි කලා කියලා එක පාරක් දොස්තර කෙනෙක්ව FCID යැව්වා. ඒ ගේම් එක ලේසි නෑ. ඉතිං ගොඩාක් දොස්තරලා ඔය system එකත් එක්ක හැප්පෙන්නේ නෑ. කළු ගල් වල ඔළුව ගහ ගන්නේනැතුව වෙන දෙයක් බලං ඉන්නවා. එත් සමහරු පුළුවන් විදියට පොඩි පොඩි ෆයිට් අරගෙන යනවා.

ඔන්න ඔය කියන කාරණා 4 ඉෂ්ඨ උනහම ICU ඇඳක් ලැබෙනවා. ඒවා සාමාන්‍යයෙන් 5ක් 10 ක් අතර ගාණක් එක unit එකක තියෙනවා. හොඳ ලොකු ඉස්පිරිතාලෙක ICU ඇඳන් 15-20 ක් වගේ තියෙයි. Unit කීපයක. හැබැයි කොච්චර ICU ඇඳන් තිබ්බත් ඕවා ඕන වෙලාවක පිරිලා. එදිනෙදා රෝගීන්ගෙන්. ඒ නිසා කොරෝනාවට ඔක්කොම ලැබෙන්නේ නෑ.

එක ඇඳක් වෙනුවෙන් එක් දිනයකදී වැය වෙන මුදල හරියටම ගණන් හදලා නෑ. Health Economics ලංකාවේ subject එකක් විදියට නෑ තාම. අපේ නෝන මහත්තයා ඒ ගැන research එකක් කරන ගමන්. තව කල් තියෙනවා ඉවර කරන්න. එතකොට එක ඇඳකට දවසකට යන වියදම හොයා ගන්න පුළුවන් වෙයි. ඒ මිල ලෙඩෙන් ලෙඩේට දෙන බෙහෙත් වල මිල අනුව, පාවිච්චි කරපු මැෂින් අනුව වෙනස් වෙනවා. ලොකු මිලක්.

ඒ නිසා මේ ICU ඇඳන් අර ඇමති කෙනෙක් හදලා දෙන්නම් කිව්ව ඒවා වගේ කියලා හිතන්න එපා. බූරු ඇඳක ලෙඩාව තිබ්බත්, ඇඳට එහා ගිය තව ගොඩාක් ජාති ඕනේ ඒකට ICU ඇඳක් කියන්න. ගමට බස් එකක් ඕනේ කිව්වාම, තහඩු නවලා  බස් එකක බොඩියක් හදලා දුන්නා වගේ තමයි ඇඳ විතරක් දුන්නොත්. එන්ජිමත් නෑ, රෝදත් නෑ, ඩ්‍රයිවර්ලයි කොන්දොස්තරලයිත් නෑ.

පැතුම් කර්නර්

Rate this item
(0 votes)