March 29, 2024

සිංහරාජ වැව් කතාවේ නොකියවුණු කතාව

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිංහරාජය මැද්දේ එක් වැවක් අක්කර 5 බැගින් වූ අක්කර 10 ක වැව් දෙකක් සාදන බවට වීරකැටියේ පැවති රැස්වීමකදී කළ ප්‍රකාශය මෙරට ජනයාගෙ සහ පරිසරවේදීන්ගේ පමණක් නොව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) විශේෂ අවධානයට යොමු විය.

UNESCO සංවිධානයේ මේ විශේෂ අවධානයත් සමග එම සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙන සිංහරාජ වැසි වනාන්තරය තුළ වැව් 2කක් සෑදීමේ තීරණය හුදෙක්ම යෝජනාවක් බවට පරිවර්තනය කර ගැනීමට රාජපක්ෂ අමාත්‍යවරයාට සිදුවිය.

තමා වීරකැටියේදී කරනු ලැබුවේ හුදෙක්ම යෝජනාවක් බවට ඉකුත් 23 වැනි දින චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට සිදුවූයේ වැව් 2කක් ඉදිකිරීමේ සිය තීරණය මත සිංහරාජ වැසි වනාන්තරයේ UNESCO ලෝක උරුම ප්‍රතිරූපයට බරපතළ තර්ජනයක් එල්ල වීම නිසාය.

සිංහරාජය මධ්‍යයේ වැව් දෙකක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද?

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වැව් 2ක ඉදි කරනුයේ පානිය ජල ප්‍රශ්නයකින් පෙළෙන හම්බන්තොට ජනතාවට වතුර ගෙන යෑමට නොව හම්බන්තොට තිබෙන අක්කර 15000 කින් යුත් චීන විශේෂ ආර්ථික කලාපයේ කර්මාන්ත ශාලාවලට ජලය ගෙන යෑමට බවය.

හම්බන්තොට ජනතාවට ජලය ලබාදීමට අවශ්‍ය නම් ඔයිට වඩා පහසුවෙන් කළ හැකි බොහෝ තිබේ. විශේෂයෙන්ම ගිං හා නිල්වලා ගංගා වල ජලය ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීමට පිළිවන.

ගිං හා නිල්වලා ගංගා පැත්තෙන් ගත්තත් සිංහරාජය අභ්‍යන්තරයේ වැව් තැනීම අනුවණ ක්‍රියාවක් වන්නේ එම ගංගා දෙකේ වතුර හම්බන්තොටට ගෙන යෑමට නම් එම ගංගා දෙකේ ජලය තිබිය යුතු අතර එම ගංගා දෙකේද මූලික ජල මූලාශ්‍රයන් ආරම්භ වන්නේ සිංහරාජ වනාන්තරයෙන් වීම හේතු කොටගෙනය.

සිංහරාජ වනාන්තරයේ වැව් සෑදීමෙන් ගිං හා නිල්වලා ගංගාවලට ජලය සැපයෙන ජල මූලාශ්‍ර හිදි යෑම නොවැළැක්විය හැක්කකි.

ප්‍රශ්නය මතු වන්නේ සිංහරාජය තුළ වැව් සෑදීමටත් වඩා එම වැව සෑදීම සදහා යන්ත්‍ර සූත්‍ර ගෙන යාමට කපන පාර හේතුකොටගෙනය.

අදාල පාර කපන්නේ චීන කර්මාන්ත පුරයට ජලය සැපයීම සඳහා වූ ගිං නිල්වලා ව්‍යාපෘතියට කෙටි මඟකින් ලඟා විය හැකි පාරක් නිර්මාණය කර ගැනීමට බවද කරුණු විමර්ශනය කිරීමේදී පෙනෙන්නට තිබේ.

ගිං නිල්වලා ව්‍යාපෘතියද උමා ඔය ව්‍යාපෘතිය මෙන් මාදුගොඩ සිට උමගක් කැපීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.

මාදුගොඩට ඊට අවශ්‍ය උපකරණ ගෙන යාම සඳහා අදාල සමාගමට රවුම් පාරක යාමට සිදුව තිබෙන බැවින් සිංහරාජය තුළ වැව් සෑදීම සදහා යෑමට හදන පාර හරහා ඊට කෙටි මගකින් ලඟා වීමට හැකිය.

ඒ අනුව සිංහරාජය තුළ වැව් තැනීමේ සැබෑ අරමුණ දුර මඟ වෙනුවට මාදුගොඩට කෙටි මගකින් ලඟාවීමෙන් ඒ සඳහා යන පිරිවැය මෙන්ම කාලය ඉතිරි කර ගැනීමට හැකි වීමය.

Rate this item
(2 votes)
Last modified on Friday, 26 March 2021 10:07

Related items