April 25, 2024

Road Safety World Series තරඟාවලියට නියම අර්ථය සැපයූ කිරුළු නොපැළඳු නියම රජු

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් එහෙත් ක්‍රිකට් ලෝලීන්ගේ ජීවිතයේ සදාකාලිකවම රැඳි සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරඟාවලිය වන “රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් (Road Safety World Series)” ක්‍රිකට් තරඟාවලිය පසුගිය පසුගිය ඉරිදා (21) දිනයේ දී නිමාවට පත්විය.

ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත් කළ ඉන්දියානු ලෙජන්ඩ් කණ්ඩායම හට ශූරතාවය හිමි කර දෙමිනි.

 “රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් (Road Safety World Series)” තරඟාවලිය එක් T20 තරඟාවලියක් පමණක්ම නොවූ අතර එම තරඟාවලිය පුරාවටම මාර්ග අනතුරු වැළැක්වීම උදෙසා ජනතාව දැනුවත් කිරීම සඳහා වූ ක්‍රියාන්විතයක් බවටද පත්ව තිබුණි.

මෙම තරඟාවලිය තුළ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ ප්‍රමාණයක් ක්‍රීඩා කළත් තරඟාවලියට නියම අර්ථය සැපයූ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායමේ ක්‍රීඩා කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක චින්තක ජයසිංහව පෙන්වා දිය හැකිය.

මේ වන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බස් රථ රියදුරෙක් ලෙසද, ලීග් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද චින්තක ජයසිංහ ක්‍රීඩා කරන අතර මෙවර ඔහු ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කළේය.

පසුගිය 2020 වසරේ ඔක්තොම්බර් 20 වැනිදා චින්තක ජයසිංහ සිය රැකියාව කරමින් සිටින අවස්ථාවේ දී ඔහු නොසිතු අනතුරකට මුහුණ දුන්නේ ය.

ඔහු රියදුරු ලෙස සේවය කළ බස් රථය තවත් රථයකින් හප්පාගෙන යන අතර එහිදී බරපතළ රිය අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් චින්තක ජයසිංහ දැඩිව තුවාල ලැබූ නමුත් ඔහු විසින් සිය බස් රථයේ සිටි මගීන් සියලු දෙනාව ජීවිත හානියකින් තොරව බස් රථයෙන් ඉවත් කර ගැනීමට සමත්ව තිබුණි.

මෙම අනතුරින් චින්තක ජයසිංහගේ දකුණු කකුල, බෙල්ල පිටුපස සහ තුනටිය යන ප්‍රදේශවලට දැඩි හානි සිදු වූ අතර ඔහු අබාධිත තත්ත්වයට පත්විය.

  

කිසිදු විශේෂඥයෙකුගේ හෝ විශේෂ අවධානයක් නොමැතිව තමන්ගේ අබාධ මතින් නැගී සිටීමට චින්තක සමත් වන අතර ඔහු නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසීමට හැකි ලෙස තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට සමත්විය.

රිය අනතුරු ගැන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධව ලෝකවාසීන් දැනුවත් කිරීම සඳහා පවත්වන ලද  “රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් (Road Safety World Series)” තරඟාවලියේ අර්ථය විදහා පෑම සඳහා ඔහු තරම් සුදුසු අයෙකු නොමැති බව ක්‍රිකට් විස්තර විචාරකයන් පමණක් නොව ලෝක වාසීන්ද ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු ලෙජන්ඩ් කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී නොදැවී පන්දු 25කින් ලකුණු 47ක් රැස් කරගන්නේ තමන් අතීතයේ ලැබූ අහිමි අනතුරේ වේදනාවන්ද යටපත් කරමිනි.

එමෙන්ම අවසාන තරගයේ ද පන්දු 30ක් තුළ ලකුණු 40ක් රැස් කරගන්නා අතර එහිදී ඉන්දියානු ලෙජන්ඩ් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන මන්ප්‍රීත් ගෝනි විසින් දුවද්දී දැවී යාමක් සඳහා කඩුල්ලක් දවා ගැනීමට පන්දුව දමා ගසන අවස්ථාවේ එම පන්දුව චින්තක ජයසිංහගේ අතක වැදුණි.

කෙසේ වෙතත් එම වේදනාවද විඳ දරාගෙන චින්තක සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම වෙනුවෙන් තරඟ කරද්දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.

අවසානය තරඟාවලිය තුළදී ද චින්තක ජයසිංහගේ මෙම කතාව විස්තර විචාරකයන්ගේ පවා දැඩි අවධානයට යොමු වූ අතර ඔවුන් ඒ පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් යුතුව කතා කළහ.

මෙරටද මාර්ග අනතුරු බොහෝමයක් මෑත කාලයේ දී සිදු වූ අතර චින්තක ජයසිංහ නම් ඒ සොඳුරු ක්‍රිකට් ක්‍රීඩකයා විසින් සහභාගී වූ  “රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් (Road Safety World Series)” තරඟාවලියේ සැබෑ අර්ථය වන මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ සියලු දෙනාම අවධානය ගත යුතුය.

එය එසේ කළ හැකි නම් එය චින්තක ජයසිංහ නම් කිරුළු නොපැළැඳු ක්‍රිකට් ක්‍රීඩකයාටද ලබා දිය හැකි ගෞවරයකි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 12:59