March 29, 2024

කොළඹ අහසේ කරණම් ගැසූ දඟකාරයා : ඉන්දියාවේ “තේජස” – HAL Tejas

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය දින කිහිපය පුරාවට කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ගුවන් කරනම් සංදර්ශන මාලාවක් සංවිධානය කර තිබුනා. ගාලු මුවදොර අහස විචිත්‍රවත් කල ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවේ “සාරංග්” සහ “සූර්යකිරන්” යන ගුවන් කරණම් කණ්ඩායම් ද්විත්වය ද එකතුවී තිබුණා.

මේ ලිපි පෙළ, ගාලු මුවදොර විචිත්‍රවත් කල ගුවන් සංදර්ශනයේ දස්කම් පෑ ගුවන් යානා ගැනයි...

ඉන්දියාවේ “තේජස” – HAL Tejas

විවිධ ආකාරයේ කරණම් රටා මවමින්, ඇසිල්ලක වේගයෙන් කොළඹ අහස විනිවිදිමින් වලාකුලු අතර නොපෙනී ගිය, ඉන්දියාවේ නිශ්පාදිත HAL Tejas බහුකාර්ය සැහැල්ලු ප්‍රහාරක යානය ගාලු මුවදොර පිටියේ දස්කම් පෑවේ කාගේත් අවධානය දිනා ගනිමිනි.

HAL Tejas යනු තනි එන්ජිමක් සහිත 4වන පරම්පරාවේ බහුකාර්ය සැහැල්ලු ප්‍රහාරක යානයකි. ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කල හැකි ඉන්දියාවේ නිෂ්පාදිත දෙවන ගුවන් යානය මෙයයි.

“තේජස්” ගුවන් යානය ඉන්දියාවේ රාජ්‍ය සමාගමක් වන හින්දුස්ථාන් එරෝනෝටිකල් ලිමිටඩ් (HAL – Hindustan Aeronautical Limited) හි 2001 වසරේ සිට නිශ්පාදනය කෙරෙනවා. 2015 වසරේ සිට ඉන්දියානු ගවන් හමුදාවේ සේවයට එකතුවෙන මේ ගුවන් යානය ඩෙල්ටා තටු හෙවත් ත්‍රිකෝණ හැඩැති තටු යුගලයකින් සමන්විතයි. “තේජස්” ගුවන් යානයට ගුවනේ දී වැඩ් වේගයක් සහ හොඳ ස්ථායීතාවයක් ලබා ගැනීමට එමඟින් හැකියාව ලැබෙනවා. මීටර් 8.2ක් පලල මේ ගුවන් යානයට කිලෝ ග්‍රෑම් 5300ක පමණ බරක් රැගෙන කිලෝ මීටර් 500ක පමණ දුරක යුධ වැදීමට පුලුවන් වගේම ගුවනේදී ඉන්ධන පුරවා ගැනීමේ (Aerial Refueling)  හැකියාදව පවතිනවා. පැයට කිලෝමීටර් 2200ක පමණ වේගයක් (ශබ්දයේ වේගය මෙන් 1.6 ගුණයක්) සහ මුහුදු මට්ටමේ සිට අඩි 50000ක් ඉහලින් පියාසර කිරීමටත් හැකි මේ යානාව ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ (General Electric) නිෂ්පාදිත F-404 ටර්බෝෆෑන් ජෙට් එනජිමකින් බල ගැන්වෙනවා.

(උඩු ගුවනේදී තවත් ගුවන් යානයකින් ඉන්ධන පුරවා ගන්නා තේජස් යානයක්)

මෙම යානාව නාවික ගුවන් මෙහෙයුම් සඳහා විශේෂිත වූ ප්‍රභේදයකින් ද සමන්විත වන අතර ඉන්දියාව සතුව ඇති එකම aircraft carrier වන අයි එන් එස් වික්‍රමාධිත්‍ය (INS-Vikramaditya) නෞකාවට මේ “තේජස්” ගුවන්යානා ගොඩබැස්වීමට සහ එහි සිට ගුවන්ගත කිරීමටත් හැකියාව පවතිනවා.

මිලිමීටර් 23ක ප්‍රමාණයේ ස්වංක්‍රීය අවි දෙකකින් සමන්විත මේ ගුවන්යානයේ බඳ කොටසේ ස්ථාන 8ක කිලෝ ග්‍රෑම් 5300ක් පමණ බරින් යුතු බෝම්බ හෝ මිසයිල රඳවා ගැනීමට පුලුවන්. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිබතූර් හී පිහිටි “සුලූර්” ගුවන්හමුදා කඳවුර මේ ගුවන්යානා වල නවාතැනයි. දැනට “තේජස්” ගුවන් යානය භාවිතා කරන්නේ ඉන්දියානු ගුවන් හමුදාව පමණයි. නමුත් මේ වන විට මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ ගුවන් යානා මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වන බවත් ආරංචි වෙනවා.

තවත් ගුවන් යානා පිළිබඳ විස්තර ඇතුලත් ලිපියකින් හමුවෙමු.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 09:10